November 5, 2023

රුපියල් බිලියන 15ක භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන් 10දෙනකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා තිබේ.

එසේම කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නඩුව විභාගකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක්ද නිකුත් කර ඇත.

කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් නියෝගයට එරෙහිව ගොනුකර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක් විභාග කිරීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ අපරාධ නඩුවක් ගොනුකිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවට විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව පිළිගැනීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සියලු විත්තිකරුවන් නඩුවෙන් නිදහස් කර තිබිණි.

මහාධිකරණ නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයට අමතරව මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන, දිලිප් නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණයට එරෙහිව තවත් නියෝගයක් නිකුත් කළේ මෙම කාරණය සම්බන්ධයෙන් නඩු ඇසීමද වළක්වාලමිනි.

2016 මාර්තු 31 වැනිදා සිදු වූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුව අමල් රණරාජා, නාමල් බලල්ල සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිචෝදනාවලට පෙර මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.

මෙම විරෝධතාව පිළිගත් අධිකරණය විත්තිකරුවන් 2021 දෙසැම්බර් 06 වැනිදා නිදහස් කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකරන ලද පෙත්සම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවන ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් නියෝගය අත්හිටුවන ලදී.

42.31%
17.27%
32.76%