December 7, 2023

ජපානයේ නිශ්චිත පුහුණු සේවක වැඩසටහන යටතේ ඉදිකිරීම් නිපුණතා පරීක්ෂණයේ විභාග 2023 දෙසැම්බර් 01 දින පැවැත්විණි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේ එය ජපාන රැකියා වෙළඳපොළේ ශ්‍රී ලාංකිකයන් සඳහා නව රැකියා අවස්ථා විවෘත කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළ බවයි.

නිශ්චිත පුහුණු ශ්‍රමිකයා යනු ජපාන ශ්‍රම වෙළඳපොළේ සේවක හිඟය පියවීම සඳහා, හඳුනාගත් කර්මාන්ත ක්ෂේත්‍රවල නිශ්චිත කුසලතා අවශ්‍ය රැකියාවල නිරත වීම සඳහා විදේශිකයන්ට හිමිවන තත්ත්වයකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට නව මංපෙත් විවර කිරීම සඳහා සහයෝගී ප්‍රයත්නයක් ලෙස ජපානයේ පාර්ශවකරුවන් සමඟ එක්ව සාර්ථකව කටයුතු කර ඇත.

ජපානය සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අනුකූලව ශ්‍රී ලාංකිකයන්ට විදේශ විනිමය ප්‍රේෂණ සඳහා දායකවීමට මංපෙත් නිර්මාණය කිරීමට ඇති කැපවීම මෙම සහයෝගීතාවයෙන් අවධාරණය කරයි.

මේ සමඟ කාණ්ඩ 12කින් සමන්විත නිශ්චිත පුහුණු ශ්‍රමික වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන්ට සුදුසුකම් ලැබීමට කාණ්ඩ 04ක් විවෘත වන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

2024 මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත ගුවන් සේවා අංශය මෙම වැඩසටහන යටතේ අමතර අවස්ථා ලබාදීමට පොරොන්දු වේ.

මේ දක්වා ශ්‍රී ලංකාව තුළ හෙද සත්කාර, ආහාර සේවා කර්මාන්ත සහ කෘෂිකර්ම යන කාණ්ඩ යටතේ විභාග පවත්වා ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමීප සහයෝගය සහ සම්බන්ධීකරණය ඇතිව තානාපති කාර්යාලයේ අඛණ්ඩ ප්‍රයත්නයන් වාහන අලුත්වැඩියා කිරීම සහ අනෙකුත් නිශ්චිත පුහුණු ශ්‍රමික කාණ්ඩවල රැකියා අවස්ථා ලබාගැනීම අරමුණු කරගෙන ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

එහි ලියාපදිංචිය පිළිබඳ තොරතුරු සඳහා නිශ්චිත පුහුණු ශ්‍රමික පරීක්ෂණ පවත්වන තොරතුරු පහත වෙබ් අඩවිය මගින් ලබාගත හැක.

https://www.prometric-jp.com/en/ssw/

 

42.31%
17.27%
32.76%