April 21, 2024

චීන ලොකු ළූණු අධික ලෙස දේශීය වෙළෙඳපොළට පැමිණ තිබුණ ද රසයේ ඇති වෙනස්කම් හේතුවෙන් පාරිභෝගිකයන් අතර එය ජනප්‍රිය වී නොමැති බව පෙනීගොස් තිබේ.

බොහෝ දෙනාගේ ඉල්ලීම වන්නේ දේශීයව වගා කරන ලද හෝ ඉන්දියානු හෝ පාකිස්ථාන ළූණු බව වෙළෙන්දෝ පවසති.

ඔවුන් පවසන්නේ ප්‍රමාණයෙන් විශාල චීන ලොකු ළූණු ගලා ඒම දේශීය පාරිභෝගිකයන්ගේ අතෘප්තියට හේතු වී ඇති අතර, ඔවුන් දේශීය, පාකිස්ථාන හෝ ඉන්දියානු ප්‍රභේදවල ගුණාත්මකභාවය සහ රසයට වැඩි මනාපයක් දක්වන බවයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ මෙම ප්‍රශ්නය විශේෂයෙන් ඉස්මතු වීමත් සමඟ තමන් ප්‍රියකරන් ලොකු ළූණු වර්ග සපයා ගැනීමේ දුෂ්කරතාවකට බොහෝ පාරිභෝගිකයන් මුහුණදුන් බව වාර්තා විය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පවසන්නේ වෙළඳපොළට අවශ්‍ය ලොකු ළූණු සඳහා තවදුරටත් ආනයනය මත යැපීමට සිදුවන බවයි.

මෙරට පරිභෝජනයට වසරකට ලොකු ළූණු මෙට්‍රික් ටොන් 280,000ක් පමණ අවශ්‍ය වුවත් මෙවර අස්වැන්න මෙට්‍රික් ටොන් 7,000කට අඩු වී තිබිණි.

ඒ හේතුවෙන් මෙට්‍රික් ටොන් 273,000ක පරතරය ආනයනය කිරීමට සිදුවන බව ඔහු පෙන්වාදෙයි.

පාකිස්ථානය සහ ඉන්දියාව යන රටවල් දෙකම ලොකු ළූණු අපනයනය තහනම් කිරීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ මිල ගණන් දිගින් දිගටම ඉහළ ගොස් ඇති අතර මේ වන විට ලොකු ළූණු කිලෝවක් රු. 700ක් බවට පත්ව ඇත.

කෙසේවෙතත්, චීනයෙන් අපනයන සහනයක් ලැබීමත් සමග ආනයනය කෙරුණු ලොකු ළූණු වඩාත් දැරිය හැකි මිලකට එනම් කිලෝවක් රු. 270ත් 300ත් අතර මිලකට අලෙවි වේ.

හිඟයක් ඇති කිරීමට ළූණු තොග ගබඩා කර පසුව වැඩි මිලට අලෙවි කිරීම වෙළෙඳපොළේ ඇති ලොකුම ප්‍රශ්නය බව නාමල් කරුණාරත්න පවසයි.

අවශ්‍ය සැපයුම වර්ධනය කර ගැනීමට ගොවීන් වෙහෙස මහන්සි වී කටයුතු කළ ද මෙම ගබඩා කිරීම සිදුවන බව ඔහු පෙන්වාදෙයි.