March 17, 2024

ලොකු ළූණු සඳහා තාවකාලික ආදේශකයක් ලෙස මධ්‍යම ප්‍රමාණයේ රෝස ළූණු ඉන්දියාවෙන් ආනයනය කරන බව වෙළඳ අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.බී. අතපත්තු පවසයි.

මෙම ළූණු දැනටමත් වෙළෙඳපොළේ ඇති අතර ලොකු ළූණු හා සසඳන විට ඒවා රසයෙන් තරමක් වෙනස් සහ ප්‍රමාණයෙන් තරමක් කුඩා වේ.

එම ළූණු කිලෝග්‍රෑමයක් රු. 350ක තොග මිලකටත් රු.400ක සිල්ලර මිලටත් අලෙවි වෙයි.

කෙසේවෙතත්, බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ වී තිබුණේ තුර්කිය, චීනය සහ නෙදර්ලන්තය යන රටවලින් ලොකු ළූණු නැව්ගත කිරීමට නියමිත බවයි.

එහෙත් ඒවා පැමිණීමට කාලය ගතවනු ඇතැයි අතපත්තු පවසයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන රතු ළූණු කිලෝවක් රුපියල් 265කට අලෙවි වේ.

ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සහ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසා ඇත.

“අපි චීනයෙන් එන නැව්ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ, මේ මාසය අවසන් වන විට එක් නැවක් පැමිණෙයි කියලා අපි අපේක්ෂා කරනවා. කොහොම වුණත්, අප්‍රේල් අලුත් අවුරුද්ද කලින් ප්‍රමාණවත් කාලයක් ලැබෙන එකක් නැහැ.” යනුවෙන් ඔහු පැවසීය.

“දෙසැම්බර් මාසයේදී ඉන්දියාව අපනයනය නතර කළා. ඊට පස්සේ, ශ්‍රී ලංකාව පසුගිය බ්‍රහස්පතින්දා දක්වා පාකිස්ථානයෙන් ළූණු ආනයනය කළා. දේශීය ඉල්ලුම හේතුවෙන් ඔවුනුත් අපනයනය නතර කළා. චීනයෙන් ආනයනය කරන භාණ්ඩ කොළඹට පැමිණීමට දින 40ක පමණ කාලයක් ගතවනවා.” යනුවෙන් ද සෙනෙවිරත්න වැඩිදුරටත් සනදහන් කරයි.

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ අපනයන තහනම හේතුවෙන් වෙළඳුන් පැරණි තොග වැඩි මිලට අලෙවි කරන බව වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු බ්‍රහස්පතින්දා පැවැති ජනමාධ්‍ය හමුවකදී කියාසිටියේය.

ආනයනය කළද ළූණු කිලෝග්‍රෑමයක් රුපියල් 375ත් 400ත් අතර මිලකට අලෙවි වූ බවද ඔහු පැවැසීය.

මහ බැංකු දත්තවලට අනුව ඇතැම් වෙළෙඳපොළවල ලොකු ළූණු මිල උච්ඡාවචනය වූ අතර පිටකොටුවේ ළූණු මිල පසුගිය බ්‍රහස්පතින්දා රු. 387ක් වී, සඳුදා වන විට එය රුපියල් 663ක් දක්වා ගොස්, නැවත මෙම සතියේ බ්‍රහස්පතින්දා වන විට රුපියල් 503ක් බවට පත්ව තිබිණි.