July 17, 2023

නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු අනුරාධපුර මූළික රෝහලට ඇතුළත් කළ රෝගියෙක් මියගොස් ඇති බව, මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීහු චෝදනා කරති.

මියගිය අයගේ දියණිය වන නෙතූ (පෞද්ගලිකත්වය සඳහා වාසගම සඳහන් කරන්නේ නැත) පවසා ඇත්තේ, වයස අවුරුදු 58ක් වන තම මව රෝහලයට ඇතුළත් කරන විට ශාරීරිකව හොඳින් සිටි බවයි.

තම මවගේ අත යට ගැටිත්තක් තිබූ අතර, පෞද්ගලිකව චැනල් කර වෛද්‍යවරයෙක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එම කුඩා ගැටිත්ත ඉවත්කිරීමට මව රෝහලට ඇතුළත් කර ඇතැයි ඇය පවසයි.

ශල්‍යකර්මය සඳහා වැඩි වේලාවක් ගත නොවන බවත්, ඇයට නැවත පියවි සිහිය එන බවත්, පවසා ඇති නමුත්, මව මිය ගොස් ඇතැයි දැනුවත් කර ඇත්තේද සැළකිවයුතු කාලයකට පසුව බව නෙතූ සඳහන් කර ඇත.

රෝහල් තුළ සිදුවන හදිසි මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි සිදු නොවූ බවත්, මෙම මරණය සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත්, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ, මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ අනුරාධපුර මූළික රෝහලට මෙතෙක් පැමිණිලි ලැබී නොමැති බවයි.

එවැනි චෝදනා ඇත්නම් පැමිණිල්ලක් මාර්ගයෙන් නිලධාරීන්ට පරීක්‍ෂණ පැවැත්වීමට ලබාදිය හැකි අතර, පවුලේ අය මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බව ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම රවී කුමුදේශ් ජනමාධ්‍යයට කියූ කතාව අනුව තමන් පෞද්ගලිකව රෝහල් අධ්‍යක්ෂ ජනරාල්වරයාට කතා කළ නමුත්, එවැන්නක් සිදු නොවූ බව ඔහු පවසන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස තමන් අනුරාධපුර මූළික රෝහලෙන් ඉල්ලා ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

(The Morning)