July 14, 2023

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලින් මේ වන විට අනාවරණය වී ඇත්තේ, විදේශ මුදල් ඇතුළු බිලියන ගණනක මුදල් ඔහුගේ දේශීය බැංකු ගිණුම් හරහා නිරන්තරයෙන් සංසරණය වී ඇති බවයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මේ වන විට සිදු කළ නොහැකි බව පවසෙනේ, ඔහු රැස් කරගත් අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් ඔහුගේ අනුගාමිකයන්ගෙන් සහ අනෙකුත් සමීපතමයන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබී ඇති බැවිනි.

CIDයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් සිදු කරන ලද විමර්ශනවලින් හෙළිවී ඇත්තේ, දේවගැතිවරයාගේ කටුනායක ‘මිරැකල් ඩෝම්’ ආගමික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඔහුගේ අනුගාමිකයන් 18,000 ක් පමණ මුල්‍ය ආධාර ලෙස මුදල් ලබා දී ඇති බවයි.

ඇතැම් අනුගාමිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන් පරිත්‍යාග ලෙස මුදල් ලබාදුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබේ.

ජෙරොම් ප්‍රනාන්දුට පාකිස්තානය ඇතුළු තවත් රටවල් 07වත් අනුගාමිකයින් සිටින බවත්, එම රටවලින් ඔහුගේ දේශීය ගිණුම් කිහිපයකට මුදල් ලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දේවගැතිවරයාගේ අනුගාමිකයින් වන ඇතැම් රාජ්‍ය නිලධාරීන් පවා තමන්ට රජයෙන් ලැබුණු වාහන බලපත්‍ර විකුණා එම මුදල් සියල්ල ‘මිරැකල් ඩෝම්’ ඉදිකිරීමට ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව ‘මිරාකල් ඩෝම්’ ඉදිකිරීම සඳහා කොපමණ මුදලක් යොදවා තිබේද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන් සොයා බලමින් සිටී.
“අපි තවමත් දේවගැතිවරයාගේ දේශීය ගිණුම් පිළිබඳව සොයාබලමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙතෙක් එම දේවගැතිවරයාට එරෙහිව සිදු කර ඇති පරීක්ෂණවලදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට නඩු පැවරිය හැකි බවට තීන්දු කර තිබුණේ නැහැ” යනුවෙන් නිලධාරියෙක් සඳහන් කළේය.

ජෙරොම් දේවගැතිවරයා විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලදී ඔහුට එරෙහිව විමර්ශන ආරම්භ කළේය.

පසුගිය මැයි මස 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේවගැතිවරයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන ඇතත් ඔහු ඊට පෙරේදා රටින් පිටව ගොස් ඇති බව අනාවරණය විය.

පසුව මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔහුට එරෙහිව විමර්ශනයක් ද ආරම්භ කළේය.

(Daily Mirror)