April 13, 2025

ඩුබායි පදනම් කරගත් ගෝලීය උපදේශන සමාගමක් වන Nomad Capitalist විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, 2025 දී ශ්‍රී ලංකාව ගෝලීය විදේශ ගමන් බලපත්‍ර ශක්ති දර්ශකයේ ස්ථාන තුනක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව 171 වැනි ස්ථානයේ සිට 168 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇත.

වීසා රහිත ගමන්, බදුකරණය, ගෝලීය සංජානනය, ද්විත්ව පුරවැසිභාවය සහ පෞද්ගලික නිදහස යන නිර්ණායක පහක් මත පදනම්ව මෙම දර්ශකය ලොව පුරා විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරයි.

මෙම වසරේ දර්ශකයේ දී ශ්‍රී ලංකාව ලකුණු 43.5ක් ලබාගෙන තිබේ.

වර්තමානයේ, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නොමැතිව රටවල් 57කට සංචාරය කළ හැකිය.

Nomad Capitalist ආයතනයට අනුව,මෙහි 50ට අඩු ලකුණු ලබා ගන්නා රටවල පුරවැසියන් බොහෝ විට විදේශගත වන විට දේශීය සංචාරකයන්ගෙන් ඍණාත්මක පිළිගැනීමකට මුහුණ දෙනු ලබයි.

එයින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකික සංචාරකයන්ට ලෝකයේ බොහෝ ප්‍රදේශවල උණුසුම් ආගන්තුක සත්කාර අත්විඳිය නොහැකි බවයි.

පෞද්ගලික නිදහස සම්බන්ධයෙන් ගත් කල, ශ්‍රී ලංකාවේ ලකුණු 20ක පහළ මට්ටමක සිටියි.

එය පෞද්ගලික නිදහසේ පහළ මට්ටම ලෙස සැලකේ.

10 ත් 20 ත් අතර ලකුණු ලබා ගන්නා රටවල පුරවැසියන් ඉතා සීමිත නිදහසක් භුක්ති විඳින බව වාර්තාවේ සඳහන් වේ.

අයර්ලන්තය මෙම වසරේ දර්ශකයේ ඉහළින්ම සිටින්නේ ලකුණු 109ක් ලබා ගනිමිනි.

අයර්ලන්ත විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා රහිතව හෝ ඔන් අරයිවල් වීසා සහිතව රටවල් 176කට ගමන් කළ හැකිය.

ස්විට්සර්ලන්තය සහ ග්‍රීසිය දෙවැනි ස්ථානයේ සිටින්නේ ලකුණු 108.5ක් ලබා ගනිමිනි.

මෙම රටවල පුරවැසියෝ ලොව පුරා ගමනාන්ත 175කට වීසා රහිත හෝ පැමිණීමේ දී ලබා දෙන වීසා මත ප්‍රවේශය භුක්ති විඳිති.

පෘතුගාලය සිව්වැනි ස්ථානයේ පසුවන අතර මෝල්ටා සහ ඉතාලිය එක්ව බලවත් විදේශ ගමන් බලපත්‍රවල ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානය හිමිකර ගනී.

දකුණු ආසියානු රටවල් අතර, මාලදිවයින ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය හිමිකරගෙන සිටින්නේ ලකුණු 65.5ක් ලබා ගනිමිනි.

ඔවුන් ගෝලීය වශයෙන් 104 වැනි ස්ථානයේ සිටී.

මාලදිවයින් විදේශ ගමන් බලපත්‍ර හිමියෝ රටවල් 101කට වීසා නොමැතිව හෝ පැමිණීමේදී ලබාදෙන වීසා මත ප්‍රවේශය භුක්ති විඳිති.

ගෝලීය වශයෙන් සහ දකුණු ආසියාව තුළ දුර්වලම විදේශ ගමන් බලපත්‍රය ඇෆ්ගනිස්ථානය සතුව ඇත.

එය ලකුණු 27ක් සමඟ 199 වැනි ස්ථානයේ සිටී.

පකිස්තානය ලකුණු 32 ක් සමඟ 195 වැනි ස්ථානයේ සිටින අතර බංග්ලාදේශය 181 වැනි ස්ථානයේත් නේපාලය 180 වැනි ස්ථානයේ සිටියි.

ඉන්දියාව ලකුණු 47.5ක් ලබා ගනිමින් 148 වැනි ස්ථානයේ පසුවෙයි.

භූතානය දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙකම අභිබවා ගොස් ඇති අතර, ලකුණු 49ක් සමඟ 140 වැනි ස්ථානයට පත්ව සිටින්නේ මාලදිවයිනෙන් පසු දකුණු ආසියාවේ දෙවැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය බවට පත්වෙමිනි.