January 18, 2025

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යන යෙදුම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පාර්ලිමේන්තුවේ නීති සම්පාදන සේවා අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

නීති සම්පාදන සේවා අධ්‍යක්ෂ සහ පාර්ලිමේන්තුවේ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ ජයලත් පෙරේරාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවතවරක් කැඳවා තිබිණි.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින දෙවැනි අවස්ථාව මෙය වේ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම සඳහා වගකිව යුතු ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුවේ නීති සම්පාදන සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධිකාරිය යටතට අයත් වන බැවින් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවන ලදී.

මීට පෙර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු නිලධාරීන් අට දෙනෙකු පමණ කැඳවා තිබිණි.

මීට අමතරව, පරීක්ෂණයේ තවත් පියවරක් ලෙස නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පාර්ලිමේන්තුවට ද ගොස් තිබිණි.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ තමා සම්බන්ධයෙන් වැරදි තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් ඇමැති හර්ෂණ නානායක්කාර දෙසැම්බර් 16 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුව මෙම විමර්ශනය ආරම්භ කරන ලදී.

 

42.31%
17.27%
32.76%