March 16, 2025

‘බටලන්ද’ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වැනි දින ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා ප්‍රකාශ කළේ විවාදය අදියර දෙකකින් පවත්වන බවයි.

“පෙ.ව. 11:30 සිට ප.ව. 5:30 දක්වා, මාර්තු 14 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන සහ වධහිංසා කුටි පිහිටුවීම සහ නඩත්තු කිරීම පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව’ පිළිබඳ විවාදය පැවැත්වේ. මෙය දින දෙකක විවාදයක් ලෙස දිගටම කරගෙන යෑම සඳහා මැයි මාසයේදී තවත් දිනයක් වෙන් කිරීමට ද තීරණය විය,” ඔහු පැවසීය.

‘බටලන්ද’ කොමිෂන් සභා වාර්තාව මාර්තු 14 වැනි දින සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම අවස්ථාවේදී, වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පවත්වන බව අමාත්‍ය රත්නායක සඳහන් කළේය.

වාර්තාව සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක කැබිනට් මණ්ඩලය හරහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ද ඔහු අනාවරණය කළේය.

තවද, වාර්තාව වැඩිදුර නීතිමය සමාලෝචනය සඳහා නීතිපතිවරයා වෙත යොමුකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය රත්නායක පැවැසීය.

මීට අමතරව, වාර්තාවට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මඟ පෙන්වීම සහ නිර්දේශ ලබා දීම සඳහා ජනාධිපති කමිටුවක් පත්කර ඇත.

ඇතැම් චෝදනා සම්බන්ධයෙන් වාර්තාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම සඳහන් කර ඇති බව ද අමාත්‍ය රත්නායක සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන්, තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අද (16) විශේෂ ප්‍රකාශයක් කරන බව රනිල් වික්‍රමසිංහ නිවේදනය කළේය.