December 3, 2023

නැවත නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ හැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් සඳහන් කළේය.

ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයට ඊයේ (02) ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“ජනාධිපතිවරයා නොවැම්බර් 24 වැනිදා මේ සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමන වගයක් කියෙව්වා. ඔහු වෑයම් කළේ ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් ලෙස පෙන්වන්න. ඔහු කිව්වා ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථා සභාව පිහිටුවේ විධායකයේ කොටසක් ලෙස කියලා. ඒක වැරදියි. ව්‍යවස්ථා සභාවේ අහෝසි කිරීම 18 සහ 19 වැනි සංශෝධන මේ සභාවේ කිසිම දවසක සම්මත වුණේ නැහැ.

ජනාධිපතිවරයා අගමැති ලෙස සිටි කාලයේ විධායකය විධායක ජනාධිපති ධූරයේ තටු හැකිළුවා. ඔහු කියෙව්වේ ඊට අදාළ අධිකරණ නියමයන්. ඒවා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළයි. නමුත්, දැන් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගත්තම මොකක්ද ඒකෙන් කියවෙන්නේ මම කියවන්නම්.

පාර්ලිමේන්තුවේ සම්මතවන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධිකරණය එළැඹි නිගමනවලට අදාළව පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ තීරණ. මේක පාර්ලිමේන්තුවේ ප්‍රකාශනයක්. මම මේ කියවන්නේ වගකීම් සහගත ලියවිල්ලක් උපුටාගෙන.

ජනාධිපතිවරයා වගේ නෙවෙයි. මේකේ කියනවා ව්‍යවස්ථා සභාව පිහිටුවීම, එහි ක්‍රියාකාරීත්වය සහ එහි විධි විධාන කියන්නේ 17 වැනි සංශෝධනයේ මූළික හරය කියලා.

සභානායකවරයාත් වැරදියි. ජනාධිපතිවරයා මේ සභාවේදී කතා කළ දවසෙම සභාපතිවරයා නැගිටලා කිව්වා ව්‍යවස්ථා සභාව විධායකයේම කොටසක් කියලා පෙනීයනවා කියලා. ඒක වැරදියි. අලුත් පරිච්ඡේදයක් තියෙනවා. විධායකය කියන්නේ 07 වැනිදා පරිච්ඡේදයේ අලුත් පරිච්ඡේදයක් හදුනා 07 (ආ) කියලා. ඒකෙන් කියන්නේ ව්‍යවස්ථාදායක සභාව, විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ කොටසක් නෙවෙයි කියලා.

ජනාධිපතිවරයා මෙතනට ඇවිල්ලා ඔහුට ඕන දේ කිව්වම ආවට ගියාට තර්ක තර්ක කරනවා මිසක් මෙතන කවුරුත් ඔහුට අභියෝග කරන්නේ නැහැ. ඔහු තමන්ට ඕන දේ කියනවා. නැගිටලා යන්න යනවා. ඔහුව හරි තැනට ගේන එකයි වැදගත්.

දැන් අපි ආණ්ඩුකරණය සම්බන්ධයෙන් අලුත් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන අවස්ථාවක. ඒක ආර්ථික අවපාතයෙන් ගොඩඒමේ ක්‍රියාවලියටත් බලපානවා.

මේ තත්ත්වය අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවා හුවා දක්වා තියෙනවා. ජනාධිපතිවරයා තමයි ව්‍යවස්ථාව උල්ලංඝණය කරන කෙනා. මාසයකටත් නොඅඩු කාලයක් තුළ දෙවැනි වතාවටත් මම මේ සභාවට කියනවා මේක චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි වරදක්.”

 

42.31%
17.27%
32.76%