January 29, 2024

තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රැගෙන ගොස් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරකර සිටින මෙරට තරුණ තරුණියන්ගේ මව්පියන් අද (29) විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ තම දරුවන් නිදහස් කර ගැනීමට කඩිනම් මැදිහත් වීමක් ඉල්ලා ඇත.

“අපේ දරුවන් මානසිකව කඩාවැටී, වැඩිවන වධහිංසාවලට සහ අමානුෂික තත්වයන්ට ගොදුරු වෙලා තියෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ නියෝජිත පිරිසක් යවා ඔවුන් නිවසට රැගෙන ගෙන එන ලෙසයි.” යනුවෙන් එක් තරුණයකුගේ පියා එහිදී පවසා තිබේ.

මාස දෙකක කාලයක් පුරා ජනමාධ්‍ය විසින් හඹායෑම ඔස්සේ කඳවුරුවල සිරවී සිටින තරුණියකගෙන් ලැබුණු තොරතුරුවලට අනුව, මෙම තරුණ පිරිස්වලින් බහුතරයක් දිනපතා පැය 18ක් දක්වා බලහත්කාරයෙන් වැඩකිරීම, නින්ද නොමැතිවීම, ම්ලේච්ඡ දඬුවම් සහ සුළු වැරදි සඳහා පවා විදුලි සැර වැද්දීම විස්තර කර ඇත.

“අපේ වැඩ ඉවර වෙනකම් හිටගෙන ඉන්න කියලා බල කරන වෙලාවල් තියෙනවා. හිටගෙනම වැඩ කරන්න කියලා බල කරනවා. අපි හිටගෙන තත්පරයක්වත් වැඩ නොකළොත් හෝ නින්ද ගියොත්, ඔවුන් අපට නැවත නැවතත් විදුලි සැර වද්දනවා.

ඔවුන් අනුකම්පා විරහිතයි. පපුව මත ක්‍රියාකාරී විදුලි රැහැන් තබනවා. එය දරාගත නොහැකියි. විදුලිය වැදෙන අය වේදනාවෙන් කෑගසනවා. මරනවා වගේ තමයි අපිට දැනෙන වේදනාව. හමුදාව ඇවිත් මිනිස්සුන්ට අනුකම්පා විරහිතව ගහනවා, දම්වැල්වලින් බැඳලා හිරේ දානවා. ඒ හිරගෙවල් ඇතුලේ අපේ සගයන් අතින් එල්ලලා ගහනවා. දවස් ගාණක් අපිට ගැහුවා, විදුලි සැර වැද්දුවා.

ඔවුන් අපව කුසගින්නෙන් තියලා මූලික සනීපාරක්ෂක පහසුකම් පවා ලබා දෙන්නේ නෑ. අපට එකම ඇඳුම් ඇඳීමට බල කරනවා. අපි හැමෝටම ධෛර්යය නැතිවෙලා. තරුණ ගැහැණු ළමයි හිරගෙවල්වලට ගෙන යනවා. ඔවුන් ආපසු පැමිණි පසු, ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ අයට හරියට වචනයක් කතා කරන්නවත් බැහැ. හිරගෙවල්වලට ගෙන ගියාට පස්සේ ලිංගික අතවර කරනවා. මොකද වුණේ කියලා ඇහුවම ඒගොල්ලෝ අපිට මොකුත් කියන්නේ නැහැ, මොකද වුණේ කියලා කියන්න ඒ අයට ලැජ්ජයි. අපි මේ වගේ ඉවසන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඔබ අපව බේරා ගන්නා ලෙස අපි ප්‍රාර්ථනා කරනවා.” යැයි විදේශ කටයුතු අමාත්යංශය හමුවේ මෙම තරුණ පිරිස්වල අත්දැකීම් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

42.31%
17.27%
32.76%