January 29, 2024

අවස්ථා කිහිපයකදී අධිකරණය මඟහරිමින් සිටි පුද්ගලයකු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු නීතිඥවරයකුගේ මානුෂීය කරුණු දැක්වීමෙන් අනතුරුව රුපියල් දස දහසක ශරීර ඇපයක් මත මුදාහැර ඇති පුවතක් පානදුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකි.

සැකකරු අවස්ථා කිහිපයකදී අධිකරණය මඟහමින් සිට ඇති බැවින් ඔහු වෙනුවෙන් ඇප වූ පුද්ගලයා නීතිඥවරයකු මාර්ගයෙන් පසුගියදා (24) මෝසමක් මඟින් සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා නියෝග කර ඇත්තේ, විත්තිකරු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසය.

ඉන්පසු විත්තිකරු වෙනුවෙන් ඇපවී සිටි තැනැත්තා නීතිඥවරයකු මුණගැසී තම මිතුරා දින දෙකකට පෙර විවාහ වූ බවත්, මධුසමය ගත කරමින් සිටියදී තමාගේ බලකිරීම මත මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් වූ බවත්, ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළද මනාලිය මේ වනවිට වාද්දුව හෝටල් කාමරයක් තුළ තනිව ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බවත්, දැනුම් දී තිබේ.

ඒ අනුව, නීතිඥවරයා විසින් විනාඩි කිහිපයක් තුළදී විත්තිකරුගේ විවාහ සහතිකය, මංගල ඡායාරූප සහ ‘තැන්ක් යූ කාඩ්’ ගෙන්වාගෙන නැවත අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

එහිදී නීතිඥවරයා කර ඇත්තේ, පුද්ගලයකුට මධුසමය ගතකරන දින කිහිපය සිය ජීවිතයේ වටිනාම දින කිහිපයක් බවත්, විත්තිකරුට සහ ඔහුගේ මනාලිය යන දෙදෙනාට එම වටිනා දින කිහිපය මඟහැරී යනවා මෙන්ම ඔවුන්ගේ පවුල් ජීවිතද දෙදරායෑමට මෙය ඉවහල් විය හැකි බවත්ය. එබැවින් සිය සේවාදායකයා පිළිබඳ නැවත වරක් මානුෂීය ලෙස සළකා බලා සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසය.

එකී කරුණු පිළිබඳ අවධානය යොමුකළ පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරු රුපියල් දස දහසක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.(මව්බිම)

42.31%
17.27%
32.76%