June 7, 2024

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අමෙරිකාවට ගොස් සිටින පාකිස්ථාන කණ්ඩායම නිව් යෝර්ක්හි වෙන්කර තිබූ ඔවුන්ගේ නවාතැන වෙනස් කර තිබේ.

ඔවුන් ජූනි 9 සහ ජූනි 11 යන දිනවල T20 ලෝක කුසලාන කණ්ඩායම් තරඟ දෙකකට ක්‍රීඩා කරන Nassau County හි ක්‍රිකට් ක්‍රීඩාංගණයට සමීප හෝටලයකට එලෙස මාරු වී ඇතැයි වාර්තා වේ.

පාකිස්ථානයට මුලින් වෙන්කර තිබුණේ එම ස්ථානයට පැය එකහමාරක් පමණ දුරින් පිහිටි හෝටලයක නවාතැන් ගැනීමටය.

එහෙත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය එම තීරණය වෙනස් කර කණ්ඩායමට Nassau County අන්තර්ජාති ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට මිනිත්තු දහයක පමණ දුරකින් Long Island හි පිහිටි හෝටලයකට යෑමට පහසුකම් සලසා දී ඇතැයි වාර්තා වේ.

පාකිස්ථානය ජුනි 7 දා ඩලාස් සිට නිව්යෝර්ක් වෙත පැමිණ දින දෙකකට පසුව එම ස්ථානයේදී ඉන්දියාව සමඟ තරග කරනු ඇති.

ඉන්දීය කණ්ඩායම පිටියේ සිට මිනිත්තු දහයක් පමණ කාලයකින් ළඟාවිය හැකි හෝටලයක නවාතැන් ගෙන තිබේ.

ඔවුන් සතියකට වැඩි කාලයක් නිව්යෝර්ක්හි රැඳී සිට, බංග්ලාදේශයට එරෙහිව ඔවුන්ගේ පෙරහුරු තරගය සහ ඔවුන්ගේ පළමු කණ්ඩායම් තරගය අයර්ලන්තයට එරෙහිව එම ස්ථානයේදී ක්‍රීඩාකරනු ඇති.

සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරඟවලදී, හෝටල් වෙන්කිරීම් මෙහෙයවනු ලබන්නේ සත්කාරක මණ්ඩලය ඇතුළත් ආයතනයක් වන ප්‍රාදේශීය සංවිධායක කමිටුව (LOC) සමඟ වැඩකරන අන්තර්ජාති ක්‍රිකට් කමිටුව විසිනි.

කණ්ඩායම් හෝටල් වෙනස් කිරීම සිදුකරන්නේ කලාතුරකිනි.

එහෙත් ඔවුන් නිව්යෝර්ක් හි රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ අත්දැකීම් අනුව, පහසුකම් පරීක්ෂාවට ලකකර ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයට පෙර ශ්‍රී ලංකාව බෘක්ලින්හි රැඳී සිටියේ පිටියේ සිට මිනිත්තු 90 ක් කාලයක් ගමන ස‍ඳහා ගතවන ස්ථානයක පිහිටි හෝටලයකය.

එය ඔවුන්ගේ පුහුණු සැසිය අවලංගු කිරීමට ද හේතු වී තිබිණි.

ඔවුන්ගේ දිවා තරඟයට පෙර, ශ්‍රී ලංකාවට ඔවුන්ගේ දිනය පෙරවරු 7 ට ආරම්භ කිරීමට සිදු වූ අතර, අවසානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව දරුණු පරාජයකට පත්විය.

පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විසින් කාලසටහන්ගත කිරීම සහ සැපයුම් “අසාධාරණ” ලෙස හැඳින්වූ අතර ශ්‍රී ලංකා කළමනාකරු මහින්ද හලංගොඩ cricinfo වෙත පැවසුවේ මෙම තරඟාවලියේ ඔවුන්ගේ ගමන් විධිවිධාන පිළිබඳව ඔවුන් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

මෙවැනි සිදුවීම් හමුවේ පකිස්ථාන ක්‍රිකට් ආයතනය අපහසුතා දෙස බලා නොසිටීමට තීරණය කළ අතර නවාතැන් වෙනස් කිරීමට අවධාරණය කරමින් ඔවුන්ගේ හෝටලය භූමියෙන් බොහෝ දුරස් වීම ගැන කනස්සල්ල පළකළේය.

අවසානයේ අන්තර්ජාති ක්‍රිකට් කමිටුව පකිස්ථානයේ ඉල්ලීමට එකඟ විය.

පාකිස්ථානය ජුනි 9 ඉරිදා ඉන්දියාව සමඟත්, දින දෙකකට පසුව කැනඩාව සමගත් නිව්යෝර්ක්හිදී ක්‍රීඩා කරනු ඇත.