February 10, 2024

මතභේද සහ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ පාකිස්ථාන මහ මැතිවරණය පෙබරවාරි 08 වැනිදා අවසන් විය.

මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද දූෂණ සහ ඡන්ද මර්දන චෝදනා එල්ල වී තිබේ.

රට පුරා ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා ඇණහිට ඇති අතර එය දේශපාලන පක්ෂවල විවේචනයට තුඩු දී ඇත.

ඇතැම් ස්ථානවල කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සීමා පැනවූ අතර ඡන්ද මධ්‍යස්ථාන අසල පිපිරීම් හේතුවෙන් ජීවිත හානි සිදුවිය.

ආයුධ සන්නද්ධ පුද්ගලයන් බලුකිස්ථානයේ මහාමාර්ග අවහිර කරමින් වාහන පරීක්ෂා කිරීම ද සිදු කර තිබේ.

මැතිවරණ කාර්යාලවලට සහ ඡන්ද මධ්‍යස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර, පිෂින් සහ කිලා සයිෆුල්ලා බෝම්බ ප්‍රහාරවලින් ජීවිත 25ක් අහිමි විය.

පකිස්ථානයේ ප්‍රධාන ව්‍යවස්ථාදායක ආයතනය වන ජාතික සභාවට ආසන 336ක් ඇත.

ඉන් 266ක් සෘජුවම මහජන ඡන්දයෙන් තේරී පත් වන අතර ඉතිරි 70 ආසන වෙන්කර ඇත.

වෙන් කර ඇති ආසනවලින් 60ක් කාන්තාවන් සඳහා නම් කර ඇති අතර, 10ක් මුස්ලිම් නොවන අය සඳහා වන අතර, පක්ෂවලට ඔවුන්ගේ සමස්ත නියෝජනය මත පදනම්ව ආසන වෙන් කර ඇත.

පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගැනීමට අවම වශයෙන් ආසන 133ක් ලබා ගත යුතු වේ.