September 6, 2024

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රචාරය කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන අනාවැකි පළ කරන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ වාර්තා හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇත.

යුරෝපා සංගමයේ බවට ව්‍යාජ ලෙස ආරෝපණය කරන ලද එවැනි එක් මත විමසුමකින් ප්‍රකාශ කර තිබුණේ ජාතික ජන බලවේගය බහුතර ඡන්දය හිමි වූ අතර, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් බවයි.

පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් කියා සිටියේ හැකි ඉක්මණින් නිසි පියවර ගැනීම මැතිවරණ කොමිසමේ සහ පොලිසියේ වගකීමක් බවයි.

මෙවැනි ව්‍යාජ සමීක්ෂණ වාර්තා හරහා මහජන මතයට අනවශ්‍ය බලපෑම් කිරීමට විශාල ඉඩක් ඇති බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

ෆේස්බුක් සමාගමේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයේ සහාය ඇතිව, මෙම ව්‍යාජ වාර්තා නිර්මාණය කිරීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා බලා ඒ අනුව ඔවුන්ට දඬුවම් පැමිණවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බව ද පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

පැෆ්රල් සංවිධානය ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු සත්‍යාපනය සඳහා පත්කර සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂ සඳුන් අරෝෂ ප්‍රනාන්දු සහ ඉන්දික පුෂ්පකුමාර යන අයගෙන් ඉල්ලා සිටියේ මෙම අත්‍යවශ්‍ය අවස්ථාවේදී වැරදි තොරතුරුවලට එරෙහිව සිටින ලෙසයි.