May 22, 2024

ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රථම වරට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් එහිදී කියාසිටියේ තමාට එරෙහිව චෝදනා එල්ල කළ ගැබිණි මවුවරුන් දැන් තමාගෙන් සමාව ඉල්ලන බවයි.

“සමහර මව්වරුන්, ඔවුන්ගේ සිසේරියන් සැත්කම් අතරතුර, ඔවුන් මට විරුද්ධව පැමිණිලි කර ඇති බව පවසමින් මගෙන් සමාව ඉල්ලා තිබෙනවා” වෛද්‍ය ෂිහාබ්දීන් පැවසීය.

2019 වසරේ පළ වූ නොමග යවනසුළු පුවත්පත් වාර්තාවකින් පසු, කාන්තාවන්ගේ අනුමැතියකින් තොරව වඳ සැත්කම් කළ බව කියන චෝදනාව මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් අත්අඩංගුවට ගනු ලැබීය.

තමා සිරගතව සිටියදී තමන් කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් සමඟ සිරමැදිරියක සිටි බව ද වෛද්‍ය ෂිහාබ්දීන් එහිදී සිහිපත් කළේය.

“මම ඔහු සමඟ කෑම බෙදාගෙන ඔහු අසල නිදාගත්තා. ඔහු තුළ මා දුටු මනුෂ්‍යත්වය, සුදු ඇඳගත් මන්ත්‍රීවරුන් තුළ මා දකින්නේ නැහැ.” ඔහු පැවසීය.

ඔහුගේම වෘත්තියේ කිහිපදෙනෙකු තමාව පහත් කළ බව පවසමින් වෛද්‍ය ෂිහාබ්දීන් පළමු වරට තම දුක්ඛිත අත්දැකීමේ තොරතුරු කිහිපයක් හෙළිකළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) හිටපු සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඉන් එක් අයකු ලෙස නම් කරමිනි.

“ඕනෑම වෘත්තියක, තමන්ට වාසිදායක නම් ඕනෑම දෙයක් කරන පුද්ගලයන් සිටිනවා. අවංකවම මේ පාදෙණිය කියන චරිතය එවකට GMOA එකේ සභාපති වෙලා මේ ප්‍රශ්නෙදි මුනිවත රැක්කා. ඒත්, ඔහුගේ දෙවන දරුවා බිහිකිරීමට සහාය වූයේ මා බව මම හෙළි කිරීමට කැමතියි ”ඔහු පැවසීය.

“වෛද්‍ය වෘත්තිය සාමාන්‍ය මිනිසා දේවත්වයට සමාන කරයි, නමුත් එම වෘත්තියම මාව යක්ෂයින්ට භාර දීමට යොදා ගත්තා. අපට මේ වගේ පරම්පරාවක් අවශ්‍ය නැහැ, මේ නරක මතකයන් අවශ්‍ය නැහැ. අධ්‍යාත්මික වශයෙන් පොහොසත් රටක් සංවර්ධනය කිරීමට අපි එක්වෙමු.” යනුවෙන් ද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් එහිදී වැඩිදුරටත් පැවසුවේය.

42.31%
17.27%
32.76%