October 22, 2024

යහපාලන ආණ්ඩු සමයේ රාජගිරියේ ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබාගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමේදී ගොඩනැගිල්ලේ හිමිකරුවන් භාරයේ තැබූ රුපියල් කෝටි 66 ක තැන්පතු මුදල තවමත් රජයට ලැබී නොමැති බව හෙළිදරව් වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ අනාවරණ කළේ, අදාළ ගොඩනැගිල්ල ආපසු භාරදී වසර කිහිපයක් ගතවුවද එම මුදල තවමත් රජයට ලැබී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා ජනමාධ්‍ය හමුවේ පැවසුවේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ කටයුතු පිළිබඳ සොයාබැලීමේදී ඉකුත් සමයේ සිදුවුනු විවිධාකාරයේ අවිධිමත් ගනුදෙනු සම්බන්ධයෙන් ද වාර්තා වන බවයි.

එමෙන්ම රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයට කුලී පදනම මත ලබාගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුවේදී එම ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් කෝටි 66 ක තැන්පත් මුදලක් තබා ඇත්තේ රජයේ ගනුදෙනුවක ක්‍රියාපටිපාටිය වන බැංකුවක් මගින් බැඳුම්කරයක් හෝ ලබානොගෙන බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වික්‍රමසිංහ එහිදී පෙන්වාදුන්නේය.

ගොඩනැගිල්ල ආපසු භාරදී ඇතත් හිමිකරුවන් එම තැන්පතු මුදල ලබා දී නොමැති සේම එම තැන්පතුව ලබාගැනීම සඳහා වගකිව යුතු කිසිදු පාර්ශවයක් මෙතෙක් කටයුතු කර නොමැති බව ද ලේකම්වරයා පැවසීය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයා දැනුවත් කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

රාජගිරියේ පිහිටි එම මහල් ගොඩනැගිල්ල, කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙනයෑම සඳහා බදු පදනම මත රජයට ලබාගෙන ඇති අතර එහි එම අමාත්‍යංශය පවත්වාගෙන යෑමට මසකට දැරිය යුතු වියදම රුපියල් ලක්ෂ 243 කට අධික බව මීට පෙර අනාවරණය විය.

කෘෂිකර්ම අමාත්‍යංශය රාජගිරියේ ගොඩනැගිල්ලකට ගෙනයෑමෙන් සිදුවූ රාජ්‍ය මුදල් අවභාවිතය කෝප් කමිටුවේ මෙන්ම එකල ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේද අවධානය යොමු වී තිබිණි.

එහිදී අනාවරණ වී කරුණු අනුව කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් රජය එම ගොඩනැගිල්ලට වියදම් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 02 යි මිලියන 100 කට ආසන්න වේ.

බදු ගිවිසුම් අත්සන් කර ඇත්තේ වසර 05 ක් සඳහ වුවද මූල්‍ය රෙගුලාසි අනුව රාජ්‍ය ආයතනයක් සඳහා එවැනි බදු ගිවිසුම් අත්සන් කළ හැක්කේ උපරිම අවුරුදු 03 ක කාලයක් සඳහා පමණයි.

එම බදු ගිවිසුම් සඳහා නීතිපති අනුමැතිය ලබා ගෙන නොමැති බව ද අනාවරණ වී ඇත.

42.31%
17.27%
32.76%