December 10, 2023

රජයේ රෝහල් සතුව භාවිතයේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් අනුමත කළ ඖෂධ වර්ග 850ක් පමණ පවතින අතර, එම ඖෂධ අතරින් 250ක පමණ ප්‍රමාණයක් රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ ශුන්‍ය වී ඇත.

එම ශූන්‍ය ඖෂධ තොග අතර හෘද රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ විශාල ප්‍රමාණයක් පවතින අතර, දියවැඩියාව සඳහා භාවිත කරන ඖෂධ, ප්‍රතිජීවක 250ඖෂධ, නිර්වින්දන ඖෂධ, පිළිකා නාශක ඖෂධ, ආතරයිටීස් රෝගය සඳහා ලබාදෙන ඖෂධ, චර්ම රෝග, ලාදුරු සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු බොහෝ ඖෂධ වර්ග පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

වෛද්‍ය සැපැයීම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සතිපතා සමාලෝචන රැස්වීම් පවත්වන නමුත්, එමඟින් ඖෂධ හිඟය සඳහා පිළියමක් ලැබී නැතැයිද සතියෙන් සතිය ඖෂධ ශූන්‍ය වන ප්‍රමාණය පහළොවත් විස්සත් අතර ප්‍රමාණයකින් වැඩිවන බව අමාත්‍යාංශ තොරතුරු වැඩිදුරටත් සඳහන් කරයි.

දෙසැම්බර් මාසයේ 20 වැනි දින වන විට වාර්ෂික ඖෂධ තොග සමීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය සැපයුම් අංශය තොග භාර ගැනීම නවතා දමන බව මේ වන විටත් දැනුම්දී තිබෙන අතර, එම කාලයේ තොග නිකුත් කිරීම්ද නවතා දමනු ලබන බව වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාහු පෙන්වා දෙති.

මෙසේ තොග ලබා ගැනීම මෙන්ම නිකුත් කිරීමද නවතා දමනු ලැබුවහොත් ඉදිරි මාසය වන විට තවත් ඖෂධ වර්ග 100ක් පමණ හිඟ ඖෂධ ලැයිස්තුවට එකතු වී හිඟ ඖෂධ ප්‍රමාණය 350 ඉක්මවා යා හැකි බවට ඔවුහු අනතුරු ඇඟවීමක් කරති.

එසේම වෛද්‍ය සැපයුම් අංශයේ ‘ස්වස්ථා’ දත්ත පද්ධතියේ සමහර මොඩියුල නිමකර නොමැති හෙයින් වාර්ෂික තොග සමීක්ෂණය ප්‍රමාද වීමට මෙන්ම ආයතනික ඇස්තමේන්තු නිසි වෙලාවට ලබාගැනීමට හා ඖෂධ ඇණවුම් නිකුත් කිරීම ප්‍රමාද වීමටද එය බෙහෙවින් බලපාන බවන ඔවුහු අවධාරණය කරති.

මේ අතර නව සෞඛ්‍ය ලේකම්වරයෙක් සහ සෞඛ්‍ය ඇමැතිවරයෙක් පත්ව තිබුණද පසුගිය කාලයේ ඖෂධ සැපැයීම සහ සබැඳිව පැවැති ගැටලූ එලෙසින්ම පවතින බවත්, ඒවා විසඳීම සඳහා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ඉතා මද බවත්, සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.(මව්බිම)

42.31%
17.27%
32.76%