February 15, 2024

ප්‍රදේශවාසීන්ට හා වන සතුන්ට හානිවන ආකාරයෙන් අනුරාධපුර, ගල්නෑව හා නාකුළුගමුව යන ප්‍රදේශයන්හි අක්කර 4,500ක් වටා ඉදිකර ඇති අලි වැටවල් වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) වලත්තෑවේ රාහුල හිමියන්ට නියෝග කළේය.

එමෙන්ම එම ප්‍රදේශයන්හි ජනතාවගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ නිවාස ආවරණයවන පරිදි ඉදිකර ඇති අලි වැටවල් ඉවත් නොකිරීමට වග බලාගන්නා ලෙසද වගඋත්තරකාර රාහුල හිමියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කෙරිණි.

තම විහාරයට සන්නසකින් හිමිව ඇති බව කියමින් අක්කර 4500ක ඉඩම් වපසරියක් කොටස් කර විවිධ වානිජ වගා කටයුතු වෙනුවෙන් ලබාදීමට මෙම භික්ෂු ක්‍රියාකර ඇති අතර, එයින් පුදේශයට සිදුවන පීඩාවට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය මෙම නඩුව පවරා තිබිණි.

ලංකා විදුලිබල මණ්ඩලයේ හා පොලිසියේ සහාය ඇතිව එම ආයතනවල අධීක්ෂණය යටතේ එම ඉවත් කිරීමේ කටයුතුව සිදුකළ යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම විය.

එසේ හානිදායක ලෙස ඉදිකර ඇති අලි වැටවල් ඉවත් කිරීමට වගබලා ගන්නා බවට වගඋත්තරකාර පාර්ශ්වයන් වන ලංකා විදුලි බල මණ්ඩලය හා එම නඩුවේ දසවන විත්තිකාර වලත්තෑවේ රාහුල හිමියන් අධිකරණයට එකඟතාව පළකර තිබුණද වගඋත්තරකාර පාර්ශ්වයන් ඒ අනුව කටයුතු කර නොමැති බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විනිසුරු මඬුල්ල වෙත පෙන්වාදුන්නේය.

අධිකරණයේ නියෝගය පරිදි එම අලි වැටවල් ඉවත් කර ඇත්දැයි සොයාබැලීම සඳහා එම පෙත්සම ලබන මැයි මස 19 වැනි දින යළි කැඳවීමටද අධිකරණයෙන් නියම කෙරිණි.

මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම විභාගයට ගැනිණි. (මව්බිම)

42.31%
17.27%
32.76%