September 9, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මාර්ගෝපදේශ නිකුත්කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ, ගෙයින් ගෙට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමට උපරිම වශයෙන් පුද්ගලයන් පස්දෙනකුට පමණක් අවසර ඇති බවයි.

“මෙම සීමාව ඉක්මවා යන අවස්ථාවලදී වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇත,” ඔහු පවසයි.

ඇතැම් දේශපාලන පක්ෂ විසින් ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සඳහා පත්‍රිකා බෙදාහැරීම සඳහා පස්දෙනෙකුට වැඩි පිරිසක් යවා ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත්, එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් ලෙසත් ඔහු සඳහන් කරයි.

මැතිවරණ සමයේ විවිධ ආරවුල් ඇතිවීමට මෙවැනි ක්‍රියා මූලික හේතුවක් බවද සභාපතිවරයා පෙන්වාදෙයි.