August 10, 2023

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී අවුරුදු තුනක පිරිමි දරුවකුගේ සැත්කමක් මඟින් ඉවත් කළ වකුගඩු දෙකෙන් එකක් පමණක් රෝහලේ රසායනාගාරයේ තිබෙන බවත් අනෙක් වකුගඩුව සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් බොරැල්ල පොලිසිය ඊයේ (9) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත කරුණු වාර්තා කළේය.

දරුවාගේ වකුගඩු සැත්කමේදී වම් වකුගඩුව සමඟ දකුණු වකුගඩුව ද ඉවත් කළ බවට කරුණු සඳහන් කළත් රෝහල් රසායනාගාරයේ එක් වකුගඩුවක් පමණක් තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සිද්ධියට අදාළව දරුවාගේ සායනික සියලු වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් බොරැල්ල පොලිසිය මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

දරුවාට උපතින්ම එක් වකුගඩුවක් පිහිටා ඇති බවට අධිකරණ වෛද්‍ය රුහුල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මඟින් අධිකරණයට දැනුම් දී ඇතත් දරුවාගේ සායනික වෛද්‍ය වාර්තා අනුව ඔහුට වකුගඩු දෙකක් තිබූ බවට කරුණු අනාවරණය වන බවත් එකී අධිකරණ වෛද්‍යවරයා නිකුත් කර ඇති මරණ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් දැනටමත් මතභේද ඉදිරිපත් වී ඇති බවටත් ඉකුත් දින මහේස්ත්‍රාත්වරිය පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව පොලිසිය ඊයේ (9) මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී මරණ පරීක්ෂණ සාක්ෂි මියගිය දරුවාගේ පියා ලබා දුන්නේය.

බොරැල්ල පොලිසියේ මෙහෙයවීම මත සාක්ෂි දෙමින් ඔහු පවසා සිටියේ කොළඹ කාසල් කාන්තා රෝහලේදී 2020/04/11වන දින 3 kg 550g උපත් බර සහිතව සිය දරුවා ප්‍රසූත කළ බවත් මාස හයක් වන විට උදරයේ යම් ගෙඩියක් වැනි දෙයක් දක්නට ලැබුණු බවත්ය.

පුද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නා දරුවාගේ වම් වකුගඩුවෙ යම් ආබාධයක් ඇති බවට පරීක්ෂණ මඟින් එකී වෛද්‍යවරයා සොයා ගත් බව පැවසූ සාක්ෂිකරු 2022/12/24 විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා විසින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වම් වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කළ බව පැවසුවේය.

දකුණු වකුගඩුව 90% ක්‍රියාකාරී තත්වයේ තිබෙන නිසා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය නැති බවත් වම් වකුගඩුව දරුවා ලොකු වෙනකොට යම් ආසාදිතයන් වර්ධනය විය හැකි බැවින් එය ඉවත් කරන ලෙසට වෛද්‍ය රන්දුල රණවක මහතා දැනුම් දුන් බව පැවසුවේය. ළමා රෝහලේ වාට්ටු අංක පහට ඇතුළත් වෙලා චෛද්‍ය නවීන් විජේකෝන් මහතා සැත්කම සිදු කළා.

ශල්‍යකර්මයෙන් පසු දින (25) දරුවා මුත්‍රා පිට නොකිරීම හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහු යොමු කළ බවත් එහිදී වෛද්‍යවරුන්ගේ අත්වැරදීමකින් දරුවාගේ දකුණු වකුගඩුව ඉවත් කර ඇති බවට වෛද්‍ය මලික් සමරසිංහ හා වෛද්‍ය රන්දුල රණවක මහත්වරුන්ගෙන් දැනගන්නට ලැබුණු බවට ඔහු සඳහන් කළේය.

වරදක් වී ඇති බව වෛද්‍යවරුන් පිළිගත්තා. ඊට විකල්පයක් ඇති බවත් තව මාස තුන හතරකින් වකුගඩුවක් බද්ධ කළ හැකි හැකි බවට ඔවුන් පැවසුවා.

ඒ අනුව දරුවාගේ වකුගඩු දෙකම ඉවත්ව ඇති අතර, 2023/1/26 නිවසට ගොස් දිනයක් ඇර දිනයක් දරුවාගේ රුධිර කාන්දුකරණය සඳහා රෝහලට පැමිණි බවත් වරින් වර දරුවා අසාධ්‍ය වී රෝහල්ගත කර ඇති බවත් සාක්ෂි දෙමින් මව පැවසුවාය.

මාස කිහිපයක් ගත වුවද වෛද්‍යවරුන් දරුවා බලන්න ආවේ නෑ පසුව අපි පුද්ගලිකව චැනල් කරලා වෛද්‍යවරයා හමුවන්න ගියා. වෛද්‍ය මලික් සමරසිංහ මහතා හරි උත්තරයක් දුන්නේ නැහැ.

වකුගඩු බද්ධ කිරීම සඳහා තුන්දෙනෙක් රෝහල වෙත රැගෙන ගියා. ඉන් එක් අයෙකුගේ වකුගඩුවක් සැසඳුණා. එහෙත් වෛද්‍යවරු කිසිදෙයක් කිරීමට පෙලඹුණේ නැතැයි සාක්ෂිකරු අධිකරණය හමුවේ පැවසීය.

සුපුරුදු පරිදි දරුවා අසාධ්‍ය වී 2023/6/13 වන දින රෝහල්ගත කළ බවත් 2023/7/27 වන දින දරුවා නැති වූ බවට පියා විසින් සාක්ෂි ලබාදෙමින් පැවසුවේය.

මියගිය දරුවා මාලිගාවත්ත මුස්ලිම් පොදු සුසාන භූමියෙහි භූමිදානය කළ බවත් ඔහුට වකුගඩු දෙකම ඉවත් කළ නිසා මෙම මරණය සිදුවන්නට ඇතැයි හෙතෙම සාක්ෂි දෙමින් සඳහන් කළේය.

අදාළ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වැඩිදුර සාක්ෂි විභාගය මෙ මස 23 වන දිනට කල් තැබුවාය.

(දිනමිණ)