June 7, 2023

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමෙන් රැකියා දස ලක්ෂයක් අහිමි වී ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් නියෝජනය කරන සංගම්, වාස්තු විද්‍යා සංගම්, විවිධ ඉංජිනේරු සංගම්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (CIDA) අධිකාරියේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහභාගි වූ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමකදී මේ බව අනාවරණය විය.

මෙම ක්‍ෂේත්‍රය කඩාවැටීම නිසා ඊට අදාළ ආයතනද කඩාවැටී ඔවුන්ගේ වත්කම් විනාශ වී වෘත්තිකයන් රට හැර ගොස් ඇති බවද අනාවරණය විය.

ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල වහා පහත හෙළීම පිළිබඳව අමාත්‍යංශයේ අවධානය යොමුකිරීමටත් වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමටත් ප්‍රමුඛතා අනුව රාජ්‍ය ආයතන හා කර්මාන්ත නියෝජිතයන් කමිටුව හමුවට කැඳවීමටත් මෙහිදී තීරණය විය.