April 9, 2024

පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘ඕලු මරා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු සහ ඔහුගේ සගයන් බවට සැළකෙන පුද්ගලයෝ දෙදෙනෙක් විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද රැගෙන මෝටර් රථයකින් පැමිණ සිටියදී කොස්වත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (7) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගැනුණු ‘ඕලු මරා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා වෙන්නප්පුව තදාසන්න ප්‍රදේශ වල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ ක්‍රියා සිදුකරන්නකු යැයි කොස්වත්ත පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවන්ගෙන් මොහු කප්පම් මුදල් ලබාගන්නා බව ද කියති.

පුද්ගලයකු කපාකොටා ඝාතනය කිරීම සහ ලුණුවිල ප්‍රදේශයේ නිවෙසක රහසිගත වධකාගාරයක් පවත්වා ගෙන යමින්, තරුණයන් පැහැරගෙන ගොස් එම වධකාගාරයේදී දරුණු වධහිංසා කිරීම ඇතුළු විවිධ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් එවකට වෙන්නපුව ප්‍රදේශය භාරව සිටි, වර්තමානයේ මීගමුව කොට්ඨාසය භාරව කටයුතු කරන පොලිස් අධිකාරි එරික් පෙරේරා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා මීට කලකට ඉහතදී ‘ඕලු මරා’ ඇතුළු ඔහුගේ සගයන් කිහිපදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් භාරයට පත්කිරීමට පියවර ගෙන තිබිණි.

රිමාන්ඩ් භාරයේ පසු වූ ‘ ඕලු මරා’ නමැත්තා මීට මාස හතකට පමණ ඉහතදී අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිට ඇතැයි පොලිසිය කියයි.

අපරාධයක් සිදුකිරීම සඳහා මෙම කල්ලිය කොස්වත්ත ප්‍රදේශයට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වී වැටළීමක් සිදුකර, කොස්වත්ත තැපැල් කාර්යාලය ආසන්නයේදී මෙම තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%