August 17, 2024

හොංකොංහි වෙසෙන යින්ග් යින්ග් නම් යෝධ පැන්ඩා නිවුන් පැටවුන් දෙදෙනෙකු බිහි කරමින් ප්‍රථම වරට මවක් වී තිබේ.

මෙම පැන්ඩා මව විශේෂ වන්නේ ප්‍රථම වරට දරු ප්‍රසූතියක් සිදු කළ වාර්තාගත වයස්ගතම යෝධ පැන්ඩා වන බැවින් සහ එය ද දුර්ලභ නිවුන් උපතක් වීම හේතුවෙනි.

යින්ග් යින්ග් මෙම පැටවුන් බිහිකර ඇත්තේ ඇගේ 19 වැනි උපන්දිනයට දිනකට පෙර බ්‍රහස්පතින්දා දිනයේ දීය.

මිනිසකු හා සැසඳීමේ දී නම් ඇය 57 හැවිරිදි කාන්තාවකට සමාන වනු ඇත.

පිරිමි සහ ගැහැණු නිවුන් පැටවුන්ගේ ඡායාරූපයක් බලධාරීන් විසින් ෆේස්බුක් වෙත එක්කර තිබු අතර ඊට හි සුබ පැතුම් අදහස් දහසකට වඩා ලැබී තිබේ.

පැටවුන් දැනට පැය 24 පුරා දැඩි සත්කාර යටතේ ස්ථාවර වීමට කාලය දී තිබෙන බව ඔවුන්ගේ භාරකරුවන් ප්‍රකාශ කර ඇත.

“අපි සැවොම යෝධ පැන්ඩා පැටවුන් හමුවීමට බලා සිටිමු. ඔවුන්ගේ මංගල දර්ශනයට සහ නිල වශයෙන් සියලු දෙනා හමුවීමට කරුණාකර මාස කිහිපයක් ඉවසීමෙන් සිටින්න!” ඕෂන් පාර්ක් හොංකොං පැවසීය.

ගැහැණු පැටවා වඩාත් අවදානමක සිටින බව භාරකරුවන් පවසන්නේ ඇගේ සිරුරේ උෂ්ණත්වය අඩු නිසාත් ඇගේ හැඬීම ඇගේ සහෝදරයාට සාපේක්ෂව දුර්වල වීමත් නිසාය.

ඇයගේ බර ග්‍රෑම් 122ක් පමණ වන බව පැවසේ.

යින්ග් යින්ග් උපතේදී “තේරුම්ගත හැකි තරම් නොසන්සුන්” වූ අතර බොහෝ වේලාවක් ගත කළේ බිම වැතිරී හා ඇඹරෙමින් බව ඕෂන් පාර්ක් පැවසීය.

යින්ග් යින්ග් සහ නිවුන් දරුවන්ගේ පියා වන ලී ලී හොංකොං වෙත චීනය විසින් ත්‍යාග කර ඇත්තේ 2007 දී වන අතර එතැන් සිට Ocean Park ඔවුන්ගේ නවාතැන වී තිබිණි.

යෝධ පැන්ඩා සංසර්ගයේ යෙදීමට මැලිකමක් දක්වන සතුන් වුවත් මාර්තු මාසයේදී මොවුන් සාර්ථක ලෙස සංසර්ගයේ යෙදී ඇත.

චීනයේ දිගුකාලීන සංරක්ෂණ ප්‍රයත්නයන් මගින් යෝධ පැන්ඩා ගහනය අඩුවීම ආපසු හැරවීමට හැකි වූ අතර ඔවුන් දැන් අවදානමට ලක්විය හැකි විශේෂයක් ලෙස සළකනු ලැබුවා ද තවදුරටත් වඳවීමේ තර්ජනයට ලක්ව නැත .