March 26, 2024

පැරණි ඉවතලන රුමේනියානු දුම්රිය මැදිරි කිහිපයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 5.5ක් වැය කර දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සංචාරක දුම්රිය මැදිරි ලෙස ප්‍රතිසංස්කරණය කර තිබේ.

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසුවේ සංචාරකයන්ට පරිසරය සහ දුම්රිය මාර්ගය වඩාත් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි මෙම පැරණි රුමේනියානු දුම්රිය මැදිරි නවීකරණය කර වහලය ඉවත් කර ඇති බවයි.

තවත් මැදිරියක් සම්පූර්ණයෙන්ම ලී භාවිතයෙන් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, සංචාරකයන්ට වඩාත් සුවපහසු ආසන සහිත මැදිරියක් ද සකස්කර තිබේ.

කලක් ධාවනයට නුසුදුසු තත්ත්වයක පැවති මෙම පැරණි දුම්රිය මැදිරි දේශීය දුම්රිය ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන් විසින් සැළකිව යුතු වටිනාකමක් එක් කරමින් නවීකරණය කර තිබීම කැපී පෙනෙන බව ඇමැතිවරයා පැවසීය.

අතහැර දමා ඇති මෙම දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කරමින් අද රට මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වය තුළ මෙම ආයතනය රටට විශාල ආදර්ශයක් ලබා දී ඇති බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.

ආයතනයේ ඉංජිනේරු තාක්‍ෂණය සහ එහි කාර්මික ශිල්පීන් යොදා ගනිමින් සිදු කළ මෙම නිර්මාණය විශාල ජාතික වටිනාකමක් එක් කරන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

42.31%
17.27%
32.76%