July 17, 2024

ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සේවය කළ තෙල් ප්‍රවාහන නෞකාවක් ඕමානයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී පෙරළී ඇති අතර එහි සිට කාර්ය මණ්ඩලයේ 16 දෙනා අතුරුදන් බව ඕමාන සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොමරෝස් ධජය සහිතව යාත්‍රා කරමින් සිටි තෙල් නැවකි.

‘ප්‍රෙස්ටීජ් ෆෝල්කන්’නම් එම නෞකාවේ කාර්ය මණ්ඩලයට ඉන්දියානු ජාතිකයන් 13 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළත් වූ බව ඕමාන සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

යාත්‍රාව ගිලී, පෙරළෙමින් පවතින බව ඔවුන් රොයිටර්ස් පුවත් සේවයට සඳහන් කර ඇත.

යාත්‍රාව ස්ථාවර වී ඇත්ද යන්න හෝ තෙල් හෝ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය මුහුදට කාන්දු වේද යන්න තහවුරු කර නොමැත.

නෞකා ගමනාගමනයට අදාළ දත්ත පෙන්වා දී ඇත්තේ යාත්‍රාව යේමනයේ ඒඩන් වරාය වෙත කිරීමට නියමිතව තිබු අතර ඕමානයේ ප්‍රධාන කාර්මික වරායක් වන ඩුක්ම් අසල දී පෙරළී ගොස් ඇති බවයි.

ඩුක්ම් වරාය ඕමානයේ නිරිතදිග වෙරළ තීරයේ, සුල්තාන් රාජ්‍යයේ ප්‍රධාන තෙල් හා ගෑස් කැණීම් ව්‍යාපෘතිවලට ආසන්නව පිහිටා ඇත.

පෙරළී ගිය යාත්‍රාව 2007 වසරේ ඉදිකරන ලද මීටර් 117ක් දිග තෙල් ප්‍රවාහන නැවක් බව නාවික දත්ත පෙන්වා දෙයි.

එවැනි කුඩා නෞකා සාමාන්‍යයෙන් කෙටි වෙරළබඩ මුහුදු ගමන් සඳහා භාවිත වේ.

ඕමාන බලධාරීන් සමුද්‍රීය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් එම ස්ථානයේ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් සිදු කළ බව ඕමාන් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබිණි.

42.31%
17.27%
32.76%