January 18, 2025

දුම්රිය ඊ ටිකට් ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

වාර්තා වන පරිදි පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ හරහා අන්තර්ජාලයෙන් ඊ ටිකට් වෙන් කර ඇති බව හෙළිවී ඇත.

එලෙස වෙන්කර ගනු ලබන ටිකට් විවිධ පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කර ඇතැයි වාර්තා වී තිබේ.

විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ සියල්ල විකිණී අවසන් වීම පසුපස මහාපරිමාණ වංචාවක් සිදුවන බවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ද පසුගියදා සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා, ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බවද අවධාරණය කළේය.

සෑම සති අන්තයකදීම අන්තර්ජාලයට ටිකට්පත් 200ක් පමණ නිකුත් කරන අතර, මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2000ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයන්ට රුපියල් 16,000ට අලෙවි කළ අවස්ථා වාර්තා වන බව ද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට නම් පැමිණිල්ලක් සිදුකරන පුද්ගලයා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත්, වැඩි මිලට ටිකට්පත් මිලට ගන්නා පිරිස් ඒ සම්බන්ධයෙන් චෝදනා කරන නමුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යෑමේදී සහාය නොදී මගහැරීම බරපතළ ගැටලුවක් බවත් පොලිසිය සඳහන් කර තිබිණි.

42.31%
17.27%
32.76%