April 13, 2025

කොළඹ අධ්‍යාපන කලාපයේ පිරිමි පාසලක 3 ශ්‍රේණියේ සිසුන්ට අමානුෂික ලෙස දඬුවම් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන බව කියන දඬුවම පෙන්වන වීඩියෝවක් සම්බන්ධයෙන් අප්‍රේල් 8 වැනි දින ලද පැමිණිල්ලක් අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනය ආරම්භ කළ බව අධිකාරිය සඳහන් කරයි.

කොළඹ අධ්‍යාපන කලාපයේ පිරිමි පාසලක ආර්. ගනේෂමූර්ති ලෙස හඳුනාගෙන ඇති ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු තම රැකවරණය යටතේ සිටින 3 ශ්‍රේණියේ සිසුන්ට ‘ලෝහමය පටියකින්’ පහර දී දඬුවම් කළ බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව දඬුවමට ලක් වූ හත්හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකුගෙන්, ඔවුන්ගේ දෙමාපියන්ගෙන්, නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙන් සහ පාසලේ අනෙකුත් දෙමාපියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

“ගුරුවරයා පාඩමක් කටපාඩම් කිරීමට සහ කියවීමට අපොහොසත් වීම නිසා ඔවුන්ට අමානුෂික ලෙස දඬුවම් කළ බව දරුවන් පැවසුවා. දෙමව්පියන් මුලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වී තිබෙනවා. කෙසේවෙතත්, දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා පැමිණිල්ල ඉදිරියට ගෙන යා හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැහැදිලි කරනු ලැබුවා” යැයි අධිකාරියේ නිලධාරිනියක් පවසා ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය පාසලට ගොස් සිද්ධිය සිදු වූ ස්ථානය පරීක්ෂා කර තිබේ.

ඊට අමතරව, දරුවන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ (JMO) සඳහා යොමු කරන ලද අතර, වාර්තා ලබාගෙන ඇත. දරුවන්ගෙන් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමට අධිකරණ නියෝග ද ඉල්ලා ඇත.

“මූලික විමර්ශනය අවසන් කර ඇති අතර, සිද්ධිය දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ අධිකරණයට වාර්තා කර තිබෙනවා. සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දැනට සැඟවී සිටින බව වාර්තා වෙනවා. ඔහු සොයාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි,” ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන තුෂාරා වික්‍රමනායක සිය ෆේස්බුක් ගිණුමේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙවැනි සටහනක් තබා ඇත.

“වින්දිත දරුවන්ගේ විඩියෝ සාක්ෂි ලබා ගැනීමට අධිකරණ නියෝග අවශ්‍ය නොවේ – CLEAN NCPA!

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂිකා සජීවනි අබේකෝන් රාජකීය විද්‍යාලයේ පහර කෑ සිසුන්ගෙන් විඩියො සාක්ෂි ලබාගැනීම සඳහා අධිකරණ නියෝග ඉල්ලා සිටින බව ප්‍රකාශ කරනවා. අධිකාරියෙ පනත ප්‍රකාරව එහෙම කරන්න අවශ්‍ය නෑ. මගෙ දරුවගෙනුත් 308අ ‘කෘරත්වය’ යටතේ වහාම විඩියෝ සාක්ෂි ලබා ගත්තේ අධිකරණ නියෝග නැතුව.

තමන්ගේ රාජකාරිය නොදන්නා නිලධාරීන් නිසා සාක්ෂි ලබා ගැනීමේ ප්‍රමාදය, පැමිණිලි අකර්මණ්‍ය වීම, අනවශ්‍ය ලෙස නඩු කල් යාම ආදි සියල්ල සිද්ද වෙන්නෙ වින්දිත දරුවට අවාසියක් ලෙසින්.

Saroja Paulraj, National Child Protection Authority – ඇයි මෙලෙස මහජනතාව නොමග යවන මාධ්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙ? ඇයි වගකීම් විරහිත නිලධාරීන් ඉහල තනතුරු වල ඉන්නෙ? ඇයි වින්දිත දරුවන් තවත් අවදානමට ලක් කරන්නෙ?”