September 16, 2024

ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයකුගේ ප්‍රධාන පෙළේ ගෝලයකු යැයි පැවැසෙන ව්‍යාපාරිකයකු “නුවරඑළියේ මගෙන් පිට කාට හරි කොන්ත්‍රාත් කිරීමට ඉඩ දුන්නොත් බලාගෙනයි” යනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.

මෙම පරීක්ෂණය අරඹා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා කළ පැමිණිල්ලක් අනුවය.

මෙම පුද්ගලයා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිමින් එහි කටයුතු වීඩියෝ කර මැතිවරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට ද බාධාවන අයුරින් පසුගිය දින කිහිපයේ දී හැසිරී ඇතැයි දිස්තික් ලේකම්වරයා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී කාන්තා ව්‍යවසායකයන්ගේ ආර්ථික තත්වය ඉහළ නැංවීම සඳහා විදේශ ආධාර මත ඉදිකෙරුණු වෙළෙඳ සංකීර්ණයේ කොන්ත්‍රාත්තුව ලබාගැනීමට ඔහු දිස්ත්‍රික් ලේකම්වරයාට අයුතු ආකාරයෙන් බලපෑම් කර ඇති බවත්, එම ව්‍යාපෘතිය නොදීම හේතුවෙන් ඔහු දිස්ත්‍රික් ලේකම්වරයාට සහ රජයේ නිලධාරීන්ට එරෙහිව මුහුණු පොත හරහා දිගින් දිගටම අපහාසාත්මක තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.

ව්‍යාපාරිකයා ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ගේ හයිය යොදාගෙන මෙයට පෙර නුවරඑළිය ග්‍රෙගරි වැවට බෝට්ටු යෙදවීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ ගෙන තිබුණත්, විවිධ ජනමාධ්‍ය අනාවරණය කිරීම් හේතුවෙන් එය ව්‍යාර්ථ වූ බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීහු පවසති.

‘ලංකාදීපය’ මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්තික් ලේකම් නන්දන ගලබඩගෙන් කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ, මෙම පුද්ගලයා තමන්ගේ රාජකාරි කටයුතුවලට සහ නිලධාරීන්ගේ මැතිවරණ රාජකාරි කටයුතු වලට දිගින් දිගටම බාධාකිරීම හේතුවෙන් පොලිසියට පැමිණිලි කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති නුවරඑළිය පොලිසිය ගලබඩගෙන් ඊයේ ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබිණි.

එම ව්‍යාපාරිකයා සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය කර ඇතැයි කියන අපහාසාත්මක තොරතුරු ද විමර්ශන සදහා ලබාගත් බව පොලිසිය පවසයි.