July 10, 2023

නවගමුව පොලිස් වසමේ බෝමිරියේ විහාරස්ථානයක භික්ෂුවක් සහ එම භික්ෂුව සමගින් විහාරස්ථානයේ එකම කාමරයක සිටි කාන්තාවන් දෙදෙනෙකුට පහරදී නිරුවත් කර ලිංගික හිංසනය සිදුකළැයි කියන සිද්ධිය රූගත කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

මෙම සිදුවීමට අදාළව නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (08 වැනිදා) නියෝග කළේය.

සිද්ධිය වී ඇත්තේ ඉකුත් 06 වැනිදා ය. එදින රාත්‍රියේ කාන්තාවන් දෙදෙනකු පැමිණ ආවාස ගෙයට ඇතුළු වී තිබේ. මේ ගැන ගම්වාසීන්ට සැලවීමත් සමග ඔවුන් එහා කඩාවැදී හිමිනම සිටින කාමරයට ගොස් තිබේ.

එම අවස්ථාවේදී චීවරධාරියා සමග නිරුවතින් කාන්තාවන් දෙදෙනකුත් සිට ඇති අතර ප්‍රකෝප වූ ගම්වාසීන් චීවරධාරියාට හා කාන්තාවන් දෙදෙනාට පහරදී තිබේ.

පසුව මේ ගැන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත තොරතුරක් ලැබී ඇති අතර එහිදී නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විහාරස්ථානයට පැමිණ ඇත.

ඒ අනුව පහරදීමට සම්බන්ධ එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පහරකෑමට ලක්වූ භික්ෂුව සහ කතුන් දෙපළ රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

පහරදීම, ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධ බව හඳුනාගත් තවත් පුද්ගලයන් හත් දෙනෙකු පෙරේදා (08 වැනිදා) උදෑසන නවගමුව පොලිසිය වෙත භාර වූ අතර ඒ අනුව මෙම සිදුවීමට අදාළව මේ වනවිට අට දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පහර කෑ භික්ෂුව මීට වසර කිහිපයකට පෙර බෝමිරිය ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක සිට ඇත. එම භික්ෂුව බෝමිරිය ප්‍රදේශයේ වෙනත් ස්ථානයකට පැමිණ ඇත්තේ මීට වසරකට පමණ පෙරය.

අදාළ භික්ෂුව මෙවැනි කාන්තාවක් විටින් විට විහාරස්ථානයට ගෙන්වාගෙන ඇතැයිද තොරතුරු අනාවරණය වි තිබේ.

භික්ෂුවගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බව නවගමුව පොලිසිය සඳහන් කරයි.

(අරුණ පුවත්පත)