October 15, 2023

මේ වනවිට සමාජ මාධ්‍ය වල ‘ලයික්ස්’ බලාපොරොත්තුවෙන් ක්‍රීඩකයන් තමන් පිළිබඳවම ලියාගන්නා බවත්, ඔවුන් කැමැති ලයික්ස්වලට බවත්, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

එමෙන්ම තරගය අවසන් වූ පසු කුමක් කරන්නද යන්න පිළිබඳ ඔවුන් නොදන්නා බවත්, තරග ගැන නොසිතා ‘සෝශල් මීඩියා’ ගැන පමණක් ක්‍රීඩකයන් සිතන බවත් මුරලි පවසයි.

මුරලි මෙසේද සඳහන් කරයි.

“ඇයි දන්නවද මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කෝච් කරන්න කැමති වුණේ. ඒ අයම ඇවිත් මට කෝච් කරන්න කතාකළා. ඒ වගේ අවස්ථාවක් වෙන කාටවත් ලැබෙයිද. මම ශ්‍රී ලංකා කණ්ඩායමට විරුද්ධව ගියේ නෑ. මම තාම හද්‍රාබාද් කණ්ඩායමට කෝච් කරගෙන මෙන්ටෝ විදියටත් ක්‍රියා කරනවා.

අපි හැදුණ පරිසරය වෙනස්. දැන් ඉන්න ළමයි හැදෙන පරිසරය වෙනස්. අපි ගුරුවරුන්ට බයයි. ඒ අයට ගරු කරලා, ඒ අය කියන දේ අහලා ඒ විදියට හැසිරෙනවා. හැබැයි දැන් ඉන්න ළමයි එහෙම බය නෑ. මම ඉගනගන්න කාලේ හොස්ටල් එකේ හිටියේ. එතකොට රිපෝට් එක බලලා ලකුණු අඩු නම් අපේ භාරකරු අපිට ගහනවා. නමුත් දැන් ළමයිට අත තියන්නේ නෑ.

දැන් නීති එහෙම වෙනස් වෙලා. ඒ වාතාවරණය උඩ ළමයි ගුරුවරුන්ට කීකරු නෑ. එහෙම වෙනසක් තමයි දැන් වෙලා තියෙන්නේ. මේ වගේ වාතාවරණයක් තමයි දැන් ක්‍රිකට්වලටත් වෙලා තියෙන්නේ. කෝච් කියනදේ අහන්නේ නෑ. 100ක් ගැහුවම එයා තමයි ලොකු ප්ලේයර් කියලා හිතනවා. ඒ වගේ වාතාවරණයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මම ගිහින් කිව්වම කවුරුත් අහන එකක් නෑ.

මම දැන් ඉන්දියාවට ගියොත් සමහර ළමයි ඇවිල්ලා සර් අර බෝලේ දාන්නේ කොහොමද? සර් මේ බෝලේ දාන්නේ කොහොමද? කියලා පන්දු ‍යවන විදිය ගැන අහනවා. නමුත් මම ලංකාවේ ගියොත් කවුරුත් මගෙන් එහෙම අහන්නේ නෑ. ඔක්කොම දන්නවා වගේ ඉන්නවා. ඉතිං මම ගිහිල්ලා මොනා හරි කියන්න ගියොත් මගෙන් අහයි ඇයි මෙයා මේවා කියන්නේ කියලා. ඒ නිසා අපිට කිසිදෙයක් කරන්න බෑ. ඒකට කෝචස්ලා ඉන්නවා.

අපිට කාටවත් උපදෙස් දෙන්න බෑ. දුන්නොත් ඉතිං අපිට බනියි. දැන් උදාහරණයක් වශයෙන් මගේ මේ කතාව සෝශල් මීඩියා දැම්මොත් මට තිත්ත කුණුහරපෙන් බනියි. මෙහෙම තමයි මේ ලෝකේ දැන් ජීවත් වෙන්නේ. ඒ අය කාටහරි කැමති නම් ඒ අය මොනවා කළත් හරි. හැබැයි තමන් කැමැතිනැති කෙනෙක් මොන දේ කළත් ඒක වැරදියි. ඒ විදියට තමයි ඒ අය හැසිරෙන්නේ. මූණ බලපු ගමන් තීරණය කරනවා එයා හොඳ ද නරක ද කියලා. ඊට පස්සේ එයා මොනා කළත් හොඳයි. නමුත් දන්නේ නැති කෙනෙක් නම්, තමන් කැමැති නැත්නම් ඒ මනුස්සයට කැත විදියට බනිනවා.

සෝශල් මීඩියා හොඳ දේකට තමයි පටන් ගත්තේ. නමුත් දැන් ඒක කණපිට හැරිලා. රටේ තත්ත්වය සෝශල් මීඩියා තුළින් වෙනස් වෙනවා. සෝශල් මීඩියා වල සාක්ශි නෑ. තමන් හිතන්නේ මොකක්ද ඒක කැමැති විදියට ලියනවා. තමන් දන්නේ නැති දෙයක් වුනත් දන්න විදියට කියනවා.

සෝශල් මීඩියා තමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිත්වල තියෙන්නේ. මම සෙල්ලම් කරන කාලේ හොඳට සෙල්ලම් කළා නම් පත්තරේ රිපෝටර් තමයි ඒ ගැන ලියන්නේ. මම ලියන්නේ නෑ.

මැච් එක ඉවර වුණාට පස්සේ ඊළඟට මොකක්ද කරන්නේ කියලා කල්පනා කරන්නේ නෑ. ඊළඟ මැච් එක ගැන හිතන්නේ නෑ. අවිල්ලා බලන්නේ ලයික් කීයක් තියනවද? තමන් ගැන හොඳ දේවල් කොච්චර ලියලා තියෙනවද? ඒ නිසා තමයි මේ දක්ශතා අඩුවෙලා තියෙන්නේ. ඒක කොහොමද හරි මාර්ගයට ගේන්න ඕනේ කියලා අපිටම තේරෙන්නේ නෑ.

මම හොඳ ක්‍රිකටර් වෙන්න පුළුවන්. නමුත් හොඳ කෝච් කෙනෙක් වෙන්න බෑ. එක එක්කෙනාට එක එක දක්ශතා තියෙනවා. කෝචින් ගැන මට අදහස් දෙන්න පුළුවන්. නමුත් මට කෝච් කරන්න බෑ. සුනිල් ප්‍රනාන්දු කොහොමද මාව ගෙනාවේ. ඒ වගේ මට එක්කෙනෙක්ව ගේන්න බෑ. මම දන්නේ නැති දේවල් කරන්නේ නෑ.”