January 8, 2024

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් TCC Spin පදනම විවෘත කිරීම වෙනුවෙන් ඊයේ ඉන්දියාවේ කෝචි නුවරට ගොස් තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ ත්‍රිපුනිතුර ක්‍රිකට් සමාජයේ පැලස් ඕවල් ක්‍රීඩාංගණයේ දී ඔහු තරුණ ක්‍රීඩකයන් සමඟ සුහද කතා බහකට ද එක්වූ බවයි.

තමන් ක්‍රීඩා කළ සමයේ ඉන්දීය ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් ලොව පුරා සිටින පන්දු යවන්නන්ට කිසිදු සැළකිල්ලක් නොදක්වා පිටිය පුරා විහිද යන අයුරින් පහර දෙන්නේ කෙසේදැයි බොහෝ විට කල්පනා කළ බව මුත්තයියා මුරලිදරන් මෙහිදී පැවසීය.

ඒ අනුව ඔහුට එම රහස දැන ගැනීමට අවශ්‍ය විය.

“ඉතින් මම ෂෙවාග්ගෙන් ඇහුවා, ‘ඔයා කොහොමද එහෙම ක්‍රීඩා කළේ, ඔයා ඇවිත් හැම පන්දු යවන්නෙක්ටම පහර දෙන්නේ’ කියලා. එවිට ෂෙවාග් පැවසුවේ ‘හෙටත් හිරු පායයි. එක මැච් එකකින් ඉවර වෙන්නේ නෑ, තව ගේම් එකක් එනවා, මමත් වෙනස් වෙනවා. ඒ නිසා මම මගේ ක්‍රීඩාව රසවිඳිනවා” යැයි මුරලිදරන් තරුණ ක්‍රීඩකයන්ට උපදෙස් දෙමින් හෙළිකළේ තරගයේ ප්‍රතිඵලය ගැන කරදර නොවිය යුතු බවයි.

සිය ටෙස්ට් කඩුලු 800 සමඟින් ලෝක වාර්තාවට හිමිකම් කියන මුරලිදරන්, TCC Spin පදනම විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ක්‍රීඩකයන්ට උපදෙස් දෙමින් “වැඩිය හිතන්න එපා” යැයි සඳහන් කළේය.

“දැන්, ක්‍රීඩකයන් ‘මම ආතතියට පත්වෙලා’ කියනවා අපට ඇහෙනවා. ආතතිය කියන්නේ කුමක්ද හෝ ආතතිය කියන එකේ තේරුමවත් අපි දැනගෙන සිටියේ නැහැ. ඕනෑවට වඩා හිතන්න එපා, ඕනෑවට වඩා හිතන එකෙන් පීඩනයක් එනවා. තමන්ගේ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කර විනෝද වෙන්න. සමහර වෙලාවට එහෙම කරන්න බැරි වෙයි ,සමහර වෙලාවට බලාපොරොත්තු වනවාටත් වඩා හොඳින් කරන්න පුළුවන් වෙයි. එමනිසා, තමන්ට පීඩනයක් දෙන්න එපා”

“තමන්ට පාලනය කළ නොහැකි දේවල් ගැන ඕනෑවට වඩා හිතනකොට තමන් තමන්ටම පීඩනයක් එල්ල කර ගන්නවා, සමහර දේවල් තියෙන්නේ අපේ අතේ නෙවෙයි”

“අවස්ථාවක් ලැබුණු විට, මම ලෑස්තිවෙන්න ඕනේ, මට මේක කරන්න තියෙනවා, මට ඒක කරන්න තියෙනවා කියන්න එපා, එතකොට තමයි ප්‍රශ්න එන්නේ. තමන් ක්‍රීඩාවට ආදරය කරනවනම්, ඒක තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. සමහර විට, අද ක්‍රීඩකයින් ගොඩක් බැරෑරුම් වන්නේ ඔවුන් එය රස්සාවක් හැටියට කරන්න යන නිසා. ඒත් ඒ දවස්වල අපි සෙල්ලම් කළේ විනෝදය සඳහා පමණයි.ඒ නිසා ක්‍රීඩාව රසවිඳින්න, ප්‍රතිඵලය කුමක් වුවත්, හැම විටම ඊළඟ තරගයක් සහ ඊට පසුවත් තරග තියෙයි. හැම වෙලාවේම ඊළඟ දවසක් තියෙනවා,” යනුවෙන් මුත්තයියා මුරලිදරන් මෙහිදී පැවසීය.