December 10, 2023

මිහින්තලය පූජා භූමිය සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් කිසිවකු ඉන් ඉවත්කර නොගන්නා බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ, අඛණ්ඩව තවදුරටත් පොලිසිය මිහින්තලය පුදබිමේ ආරක්ෂක කටයුතු රාජකාරීවල නිරතවන බවයි.

කෙසේවෙතත්, අද සිට මිහින්තලා රජමහා විහාරයෙන් හමුදා ආරක්ෂක අංශ ඉවත්කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ආරක්ෂක අංශවලින් ජීවිත තර්ජනයක් ඇතිවිය හැකි බව මිහින්තලාව රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කිරීම නිසා ඔවුන් ඉවත්කර ගන්නා බවයි.

මිහින්තලා රජමහා විහාරයේ ආරක්ෂාව සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා අඛණ්ඩව ආරක්ෂක අංශ සමාජිකයන් 252 ක් යොදවා තිබූ බවත්, ඊට අමතරව එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි විවිධ අවස්ථාවල අතිරේක ආරක්ෂක අංශ සමාජිකයන් යෙදවූ බවත් රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

ඔහු පැවසුවේ, පසුගිය පොසොන් පොහොයට පෙර දින පස් කියුබ් 150 ක් පමණ කර මතින් ඉහළට රැගෙන යෑමට හමුදා සමාජිකයන් 500 ක් පමණ යෙදවූ බවයි.

ඒ අනුව, නාවික හමුදාවේ 103 දෙනෙක්, සිවිල් ආරක්ෂක බලකායේ 100 ක් සහ හමුදාවේ 48 දෙනෙක් ඇතුළු ආරක්ෂක අංශ සමාජිකයන් 252 දෙනෙක් අද සිට මිහින්තලා රජමහා විහාරයෙන් ඉවත්වනු ඇත.

42.31%
17.27%
32.76%