October 23, 2023

විදුලි බිල කිහිප වතාවක් වැඩි කළද පාරිභෝගිකයින්ට බිල්පත් ගෙවීමට ලබා දී ඇති කාලය වැඩි කිරීමට පියවර ගෙන නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසුවේ ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව මිලියන 6.8 ක් බවයි.

“මේ වසරේ දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කර තිබෙනවා. 2022 දී මසකට ඒකක 180ක් භාවිත කළ පාරිභෝගිකයෙකුගෙන් රුපියල් 3755.00ක මුදලක් අය කළා. එහෙත් විදුලි ඒකක 180ක් භාවිත කරන පාරිභෝගිකයකුට දැන් දළ වශයෙන් රුපියල් 10,500ක් ගෙවීමට සිදු වෙනවා” ඔහු පෙන්වාදෙයි.

“ඒ මුදල අති විශාලයි, පාරිභෝගිකයෙකුට විදුලි බිල ගෙවීමට ලබාදී ඇති කාලය දින 40යි. ලංකාවේ ආර්ථික පරිහානිය නිසා පවුලක ආදායම වැඩිවෙලා නැහැ.” යැයි ඔහු පවසයි.

රතු නිවේදන නිකුත් කිරීම 60%කින් ඉහළ ගොස් ඇති බවත්, මෙයින් පෙනී යන්නේ මෙරට විදුලි පාරිභෝගිකයන් විදුලි බිල්පත් ගෙවීමේ දුෂ්කරතාවට පත්ව සිටින බව යැයි ද හෙතෙම පැවැසීය.

එබැවින් නිවසක මාසික විදුලි බිල ගෙවීමට දැනට පවතින දින 40ක කාලය දීර්ඝ කර වාරික වශයෙන් විදුලි බිල ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී.

42.31%
17.27%
32.76%