May 8, 2024

හිටපු ජනාධිපතිනියක සහ වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ කණ්ඩායම සමග සාකච්ඡාමය ප්‍රවේශයකට සූදානම් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයත් සමඟ පක්ෂය තුළ ගැටලුකාරී තත්ත්වයක් මතු විය.

පක්ෂය දැන් සිරිසේන සහ කුමාරතුංග ප්‍රමුඛ කණ්ඩායම් දෙකකට බෙදී තිබේ.

මෙම දෙපිරිසම වැඩ බලන සභාපති සහ මහලේකම් වැනි පක්‍ෂයේ ප්‍රධාන තනතුරු සඳහා වෙන වෙනම පත්කිරීම් සිදුකර ඇති අතර සමහර තනතුරු අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇත.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සහයෝගීව කටයුතු කිරීමේ අරමුණින්, සිරිසේන ප්‍රමුඛ කණ්ඩායමේ දූෂිත නොවන සාමාජිකයන් යැයි තමන් ප්‍රකාශ කළ අය සමඟ සාකච්ඡා කිරීමට කුමාරතුංග කැමැත්ත පළ කළාය.

එවැනි සාමාජිකයන් තමන් ප්‍රමුඛ කණ්ඩායමට එක්වීම සාදරයෙන් පිළිගන්නා බවත්, දැනට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩනැගීමට සහයෝගය ලබාදෙන බවත් ඇය පැවසුවාය.

සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම නියෝජනය කරනශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසන්නේ ඔවුන් එවැනි ඕනෑම සාකච්ඡාවක් සඳහා නොයන බවයි.

“ඔවුන් කතා කරන්නේ දූෂිත නොවන මන්ත්‍රීවරුන් ගැන නමුත්, ඔවුන්ගේ කණ්ඩායමේ ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු ඇතුළු දූෂිත දේශපාලනඥයන් කී දෙනෙක් ඉන්නවාද? පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර සහ පසුව ඔවුන් සතු දේපළ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමෙන් මහජනතාවට ඔවුන්ගේ දූෂණ මට්ටම මැන ගත හැකියි” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

 

42.31%
17.27%
32.76%