42.31%
17.27%
32.76%
September 10, 2023

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි ඉංජිනේරුවන් 10 දෙනකු සහ යාන්ත්‍රික ඉංජිනේරුවන් 09 දෙනකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පවතින බරපතල සේවක හිඟය පිරවීම සඳහා පස් අවුරුදු කොන්ත්‍රාත් පදනම මත මෙම බඳවා ගැනීම් සිදුකෙරෙන බව වාර්තා සඳහන් කරයි.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනාවරණය කරන ආකාරයට, සැප්තැම්බර් 4 වැනි දින විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යවන ලද ලිපියකට පිළිතුරු දෙමින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (9) වසර පහක කොන්ත්‍රාත් පදනම මත මෙම බඳවාගැනීම් 19 සිදුකිරීම සඳහා අනුමැතිය ලබාදී ඇත.

එම ලිපියෙන් DMS අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමේදී අනුගමනය කරන බඳවා ගැනීමේ නිර්ණායක සඳහා අනුමැතිය ලබාගැනීමට කඩිනමින් ක්‍රියාකරන ලෙසයි.

මේ අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට චීන ජාතික ඉංජිනේරුවන් පිරිසක් විශාල වැටුප් මත බඳවාගැනීමේ සූදානමක් පවතින බව පසුගිය දිනවල වාර්තා විය.

මේ අතර ඊයේ විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට සංසරණය වන පුවත් අසත්‍යයක් බවයි.

දැනට විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩුව සඳහා දේශීය ඉංජිනේරුවන් බඳවාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා එම පිරිසෙන් සුදුසු ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතර සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ 400 ට වැඩි පිරිසක් අතරින් 19 දෙනෙකු තෝරාගෙන බඳවාගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් ලංවිම පවසා තිබේ.

42.31%
17.27%
32.76%