October 30, 2023

ඉදිරි අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

ඇමැතිවරයා පෙන්වාදෙන්නේ අදාළ ඉල්ලීම් පිලිබඳව සළකා බැලීමේදී රට නැවත වරක් අගාධය කරා නොයන ආකාරයෙන් , ‘අයිසිං තවරන’ ලද ආර්ථික ප්‍රතිපත්තියට නොයා ගැඹුරින් සිතාබලා කටයුතු කළයුතු බවයි.

ඊයේ සවස දෙහිඕවිට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ජනතාව විඳින පීඩනය අමතක කර ඉදිරියට යා යුතු බව ඉන් අදහස් නොකරන බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා, ස්ථිරසාර ආර්ථික වර්ධනයකට යා හැකි අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතු බවද එහිදී කියා සිටියේ ය.

රාජ්‍ය වියදම අඩුකර ගනිමින් ආදායම වැඩිකර ගැනීමට මෙතරම් අවධානය යොමුකළ යුගයක් තවත් නැතැයි සඳහන් කළ හෙතෙම, සියලු අභියෝගවලට මුහුණ දෙමින්, කාලයක් තිස්සේ හැඩගැසුණු නීති පද්ධතියක්, කාලයක් තිස්සේ හැඩගැසුණු නිලධාරී කොට්ඨාශයක් මෙන්ම, කාලයක් තිස්සේ හැඩගැසුණු ජාවාරම්කරුවන් පිරිසක්ද සිටින බැවින්, ඒ සියල්ල හා බැඳුණු කාලයක් තිස්සේ පවතින රටාව වෙනස් කිරීම ඉතාමත්ම සීරුවෙන් සිදුකළ යුතු බවද වැඩි දුරටත් සඳහන් කළේ ය.

42.31%
17.27%
32.76%