August 3, 2023

වෙනත් වසරවල ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූවද, මේ වසරේ නිරිතදිග මෝසමින් ලැබෙන වර්ෂාපතනය අවම මට්ටමක පැවතීම නිසා ජලාශවල ජල මට්ටම් ද ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන පවසයි.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂිකා සුදර්ශනී විදානපතිරණ සඳහන් කරන්නේ, වියළි කාලගුණය හේතුවෙන් වැව් සහ ජලාශවල ජල ධාරිතාව 33.3% දක්වා පහළ ගොස් ඇති බවයි.

වගා කටයුතු සදහා ජලය ඉතා ප්‍රවේශමෙන් භාවිත කරන ලෙස ඇය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල ප්‍රකාශ කරන්නේ, මහවැලි සහ වලවේ ගංගා කළමනාකරණයේ දී මහවැලි ජලාශ පද්ධතියේ ධාරිතාව ද 34% ක් දක්වා පහළ ගොස් තිබුණ ද, මහවැලි ගංගා ද්‍රෝණියේ ජලයෙන් 37% ක් හා වලවේ ගඟෙන් භාවිත කළ හැක්කේ 03% ක් පමණක් බවයි.

උඩවලව ජලාශයේ ජල හිඟය හේතුවෙන් වගාවන් සඳහා ජලය ලබාදීමේ ගැටලු මතුව ඇති බවත්, වගාවන් බේරාගැනීමට හොඳ ජල ප්‍රවාහයක් අවශ්‍ය වන බවත් ඔහු පවසයි.

සමස්ත විදුලි ජනනයෙන් 16% ක් දක්වා ජල විදුලි ජනනය පහළ ගොස් තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ, බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ද 20% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

එම නිසා දෛනික විදුලි ජනනයෙන් 64%ක්ම ලබාගැනීමට සිදුව ඇත්තේ ගල් අඟුරු හා තාප බලාගාරවලිනි.

මීට අමතරව ‍සූර්ය බලයෙන් 05% ක් සහ සුළං බලයෙන් 06% ක් දෛනිකව ජාතික විදුලිය පද්ධතියට එක්කෙරෙනු ඇත.

මෙරට විදුලිබල ඉල්ලුම ද ගිගා වොට් පැය 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.