July 18, 2024

බස්නාහිර පළාත (දකුණු) නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පච්ච වෙළඳසැළක හිමිකරුවකුගෙන් ජනමාධ්‍ය හමුවේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව කිසිදු දඬුවම් ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

අතුරුගිරියේදී ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කෙරුණු වෙඩිතැබීම සම්බන්ධයෙන් පච්ච වෙළඳසැළේ හිමිකරුගෙන් නියෝජ්‍ය පොලිස්පති මාරපන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රශ්න කරන අයුරු අදාළ වීඩියෝවේ දැක්වේ.

එම නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි අද පැවැති ජනමාධ්‍ය හමුවකදී කළ විමසීමකදී ඔහු කියාසිටියේ නැවත එම වරද සිදුනොකරන ලෙස තමන් දැඩි ලෙස අවවාද කළ බවත්, ඔවුන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත්ය.

එම නිලධාරීන්ට එරෙහිව කිසිදු පියවරක් ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් ලබා නුදුන් බවද ඇමැතිවරයා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති මාරපන කණගාටුව ප්‍රකාශ කළ බවත් මෙවැනි සිදුවීම් යළි ඇති නොවන බවට සහතික වූ බවත් අලස් ඇමැතිවරයා සඳහන් කළේය.

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සැකකරුවන් කිහිපදෙනෙකු සාර්ථකව අත්අඩංගුවට ගත් බවත්, ජනමාධ්‍යවේදීන් තත්ත්වය තේරුම් ගත යුතුව තිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ කළා. සැකකරුවන් දෙදෙනෙකු හැර අනෙක් සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගත්තා,” ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%