July 20, 2024

විදුලිය, ගෑස්, ඉන්ධන ආදී සාධක රැසක මිල සංශෝධනයන්ට සාපේක්ෂව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ද පාරිභෝගිකයන් වෙනුවෙන් පහත දැමිය යුතු බවට රජය අවධාරණය කර තිබුණ ද අමුද්‍රව්‍යවල අධික මිල හේතුවෙන් එලෙස සිදුකළ නොහැකි බවට ඇතැම් නිෂ්පාදකයන් ප්‍රකාශ කර තිබේ.

ලබන සතිය වන විට සැපයුම්කරුවන් ඊට අනුකූල නොවුණහොත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිල ක්‍රියාත්මක කිරීමට රජයට සිදු විය හැකි බවට වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු අනතුරු අඟවා තිබිණි.

ඇමැතිවරයා සඳහන් කර තිබුණේ පාලන මිල ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අකැමති වුවද මිල අඩු කිරීමක් නොවුණහොත් එය සිදු කිරීමට බල කෙරෙනු ඇති බවයි.

සියලුම වෙළඳ සංගම් ලබන සතියේ රැස්වීමක් සඳහා කැඳවා ඇති අතර එහිදී මේ බව දැඩිව දැනුම්දීමට සූදානම් බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත.

“රජය අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති නිසා විදුලි බිල සහ ප්‍රවාහන වියදම් අඩු වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රතිලාභ පාරිභෝගිකයන් අතට පත් කිරීම වෙළෙඳුන්ගේ යුතුකමක්,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

රජයේ ප්‍රතිපත්ති මගින් ආහාර උද්ධමනය තනි ඉලක්කමකට පහත දැමීමට හැකි වී ඇති බවත් පොලී අනුපාත තවදුරටත් පහත වැටෙනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර, සමස්ත ලංකා බේකරි සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසන්නේ පාන්පිටි මිල සහ කෙටිකෑම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අඩු කළහොත් බේකරි කෙටිකෑම මිල සහ පාන් මිල අඩු කිරීමට තමන් සූදානම් බවයි.

“රජය මෙම සැපයුම්කරුවන්ට බිය වූ බවක් පෙනෙන්නට තියෙනවා. අපි පාන් ගෙඩියක් රුපියල් 140ට විකුණනවා. අපේ අමුද්‍රව්‍ය සපයන්නන් අනුව අපේ මිල අඩු කරන්න අපි සූදානම්,” යනුවෙන් ඔහු පවසා ඇත.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සභාපති සරත් රත්නායක ද එවැනිම අදහසක් ඉදිරිපත් කර තිබේ.

“විදුලි ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු අඩු කිරීම බිත්තර මිලට විශාල බලපෑමක් ඇති කරන්නේ නැහැ. බිත්තර නිෂ්පාදකයන් මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ සත්ව ආහාර සඳහා වන අධික මිලයි. බඩ ඉරිඟු කිලෝවකට පැවති රුපියල් 130ට සාපේක්ෂව සති කිහිපයකට පෙර රුපියල් 190ක් වෙලා. ගැහැණු පැටවකුගේ මිල රුපියල් 800ක්. කිකිළියන් 1000ක් නඩත්තු කිරීමට රුපියල් ලක්ෂ 28ක් පමණ වැය වනවා. අධික මිල නිසා අපට බිත්තරයක් රුපියල් 60කට ආසන්න මිලකට අලෙවි කිරීමට සිදුව තිබෙනවා. බිත්තරයක මිල අඩු කිරීමට නම් අපට මේ වියදම් අඩු විය යුතුයි,” යනුවෙන් ඔහු පෙන්වාදෙයි.

 

42.31%
17.27%
32.76%