January 1, 2024

කිසිදු චීන පර්යේෂණ නෞකාවකට වසරක කාලයක් සඳහා මෙරට වරායන්ගේ නැංගුරම්ලෑමට හෝ මෙරටට අයත් සුවිශේෂී ආර්ථික කලාපය තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකාව ඉන්දියාවට දන්වා තිබේ.

ඉන්දීය මූලෝපායික සහ ආරක්ෂක අවශ්‍යතාවලට ගරුකරන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම තීරණයෙන් අදහස් වන්නේ චීන පර්යේෂණ නෞකාවක් වන Xiang Yang Hong 3 දකුණු ඉන්දීය සාගරයේ ගැඹුරු මුහුදේ ගවේෂණය කිරීමට අවසර ලබා නොදෙන බවයි.

2023 ජුලි 21 වැනි දින පැවති රැස්වීමේදී අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ ඉන්දීය උපායමාර්ගික සහ ආරක්ෂක අවශ්‍යතාවලට ගරුකරන ලෙසය.

එම ඉල්ලීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර හඳුන්වාදෙනු ලැබේ.

ප්‍රකාශිත තහනම පසුගිය සතියේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේද හරහා ඉන්දියාවට දන්වා ඇති බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

මෙයින් අදහස් කරන්නේ 2024 ජනවාරි 5 වැනිදා සිට මැයි මස අග දක්වා දකුණු ඉන්දීය සාගරයේ “ගැඹුරු මුහුදු ගවේෂණය” සිදුකිරීමට නියමිතව තිබූ චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන Xiang Yang Hong 3 සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවසරය ලබා නොදෙන බවයි.

ටොන් 4,600ක් බරැති එම යාත්‍රාවට මාලේ වෙරළට ඔබ්බෙන් සමීක්ෂණයක් කිරීමට ඉඩදෙන ලෙස චීනය බීජිං ගැති මාලදිවයිනේ වත්මන් මොහොමඩ් මුයිසු පාලනයෙන් ඉල්ලා ඇත.

ඉන්දියන් සාගරයේ චීන විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා සහ බැලස්ටික් මිසයිල ලුහුබඳින(ට්‍රැකර්) යන්ත්‍රවලට සැපයුම් සහාය ලබාදීම පිළිබඳ ඉන්දියාව සහ එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට විරෝධය පළකිරීමෙන් පසුගිය සතියේ වික්‍රමසිංහ ආණ්ඩුව මෙම වසරක තහනම දැනුම්දුන් බව ඇතැම්හු පවසති.

චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6 ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකා සමුද්‍ර ඒජන්සිය සමඟ ඒකාබද්ධ සමුද්‍ර සමීක්ෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධතා ඉදිරිපත් කර තිබිණි.

එක් තීරයක් එක් මාවතක් මුලපිරීමේ 10 වැනි සංවත්සරය සඳහා ඉකුත් ඔක්තෝබර් 17-18 දිනවල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බීජිංහි සංචාරය කිරීමෙන් පසු අදාළ යාත්‍රාවට කොළඹ වරායේ නැංගුරම්ලෑමට අවසර ලබාදුන්නේය.

පර්යේෂණ යාත්‍රාව ඔක්තෝබර් 25 වැනිදා කොළඹට ළඟා වූ අතර දෙසැම්බර් 2 වැනිදා මලක්කා සමුද්‍ර සන්ධිය තරණය කළේය.

මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ Shi Yan 6 සහ Xiang Yang Hong 3 යන යාත්‍රා දෙකටම ඇති විරෝධතා ඉන්දීය ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්කරුවන් විසින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව වාර්තා විය.

අතීතයේදී, චීන පර්යේෂණ නෞකා, බැලස්ටික් මිසයිල ලුහුබඳින(ට්‍රැකර්) සහ හයිඩ්රොග්‍රැෆික් යාත්‍රා ඉන්දියානු සාගර කලාපයට ඇතුළු වී අන්දමන් සහ නිකොබාර් දූපත්වලට දකුණින් පිහිටි කඳුවැටිය ආසන්නයේ ගැඹුරු සමීක්ෂණ සිදුකර ඇත.

මෙම වසරේ, යුද නැව්, සබ්මැරීන, බැලිස්ටික් මිසයිල ට්‍රැකර් සහ පර්යේෂණ යාත්‍රා ඇතුළුව අවම වශයෙන් චීන නැව් 25ක් ඉන්දියානු සාගර කලාපයේ ක්‍රියාත්මක වූ අතර, එය ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ කෝපයට හේතුවිය.

2019 සිට, ඉන්දියානු සාගර කලාපයේ මුළු චීන විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා 48ක් යොදවා ඇත.

ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ප්‍රදේශය වූයේ ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන් ආසන්නයේ සහ ගැඹුරු ඉන්දියන් සාගරයේය.(The Morning)

42.31%
17.27%
32.76%