42.31%
17.27%
32.76%
September 29, 2024

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කළද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වේ.

ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ වාහන අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන බවයි.

කෙසේවෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශනයක් ආරම්භ කර නොමැති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නිල ඉල්ලීමක් ලැබී නොමැති වීම ඊට හේතුව වී තිබේ.

ජනාධිපතිවරයා විසින් ලේකම්වරයාට හෝ වෙනත් අයකුට නියෝගයක් ලබා දී ඇති නමුත් පරීක්ෂණයක් පැවැත්වීමට නිසි ලිපියක් නිකුත් කර නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙතෙක් නිසි උපදෙස් හෝ පැමිණිල්ලක් ලැබී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

මේ අතර, ජාතික විගණන කාර්යාලය විසින් ද අදාළ රථවාහන සම්බන්ධයෙන් සමීක්ෂණයක් පවත්වනු ලැබේ.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පවසන්නේ සමීක්ෂණය ආරම්භ කර ඇත්තේ මෑතකදී පමණක් බැවින් සිදුවිය හැකි ප්‍රතිඵල පිළිබඳ දැනට ප්‍රකාශ කළ නොහැකි බවයි.

කෙසේවෙතත් සමීක්ෂණයේ ප්‍රගතිය යහපත් බව ඔහු සඳහන් කර ඇත.

මෙම සමීක්ෂණය සිදු කිරීම ජාතික විගණන කාර්යාලයේ ස්වාධීන තීරණයක් බවත් කිසිවකු ඒ සඳහා ඉල්ලීමක් නොකළ බවත් ඔහු පැහැදිලි කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පමණක් නොව රාජ්‍ය අංශයේ සියලුම වාහන කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

ජාතික විගණන කාර්යාලයට අනුව මෙම සමීක්ෂණයේ දී සිදු කෙරෙන්නේ එම ආයතනවල ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලැයිස්තුගත කර භෞතිකව කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න පරීක්ෂා කිරීමයි.

එම වාහන සහ මෝටර් රථ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහන හා සැසඳීමක් කර විගණනය සිදුකරන බව ද වාර්තා වේ.

විගණනය අවසන් වන්නේ සම්පූර්ණ සත්‍යාපන ක්‍රියාවලියකින් පසුව පමණක් බව ජාතික විගණන කාර්යාලය අවධාරණය කරයි.

වත්මන් විගණන කණ්ඩායමට ජනාධිපති ලේකම් කාර්යාලයේ, අගමැති කාර්යාලයේ සහ මහා භාණ්ඩාගාරයේ වාහන සමාලෝචනය කිරීමට උපදෙස් දී ඇති අතර අනෙකුත් දෙපාර්තමේන්තුවල ද වාහන වාර්තා පරීක්ෂා කර ගැටලු ඇත්නම් වාර්තා කරන ලෙස උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයට අනුව දැනට ජනාධිපති ලේකම් කාර්යාලය සතුව ඇති වාහන 833න් 29ක් සම්බන්ධයෙන් තොරතුරු නැත.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

මීට අමතරව, පසුගිය රජයන් විසින් භාවිත කරන ලද සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය මහජන සේවාවන් සඳහා භාවිත කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.(Sunday Morning)

42.31%
17.27%
32.76%