January 3, 2025

පොලිස් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබු ‘eTraffic’ යෙදවුම දත්ත ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන බවට එම දෙපාර්තමේන්තුව මහජනතාවට සහතික වෙයි.

ඔවුන් පවසන්නේ පසුගියදා සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී නිල වෙබ් අඩවියට කිසිදු හානියක් සිදු නොවූ බවයි.

ජනමාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ මෙම යෙදවුම ලබන සතියේ Play Store සහ Apple Store මගින් බාගත කිරීමට හැකි වනු ඇති බවයි.

පොලිසියේ මෑත කාලීන සයිබර් ආරක්ෂණ අභියෝග හමුවේ යෙදවුමේ විශ්වසනීයත්වය පිළිබඳ සාවද්‍ය තොරතුරු පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව පසුගිය දිනෙක අදහස් දක්වා තිබිණි.

ඔහු පෙන්වා දුන්නේ තවමත් Google Play Store හි නොමැති එම යෙදවුම පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව පිළිබඳ අමතර ගැටලු මතු කරනු ඇති බවයි.

පොලිසියේ යූ ටියුබ්, ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් ඉලක්ක කර සයිබර් ප්‍රහාරයන් තිබියදී සිය වෙබ් අඩවිය ආරක්‍ෂිතව පැවති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග පැහැදිලි කළේය.

“අපට පැය හතරක් පහක් ඇතුළත සමාජ මාධ්‍ය ගිණුම් හතරම නැවත ලබා ගැනීමට හැකි වුණා. යූ ටියුබ් ගිණුම නැවත ක්‍රියාවට නංවන්න අමතර කාලයක් අවශ්‍ය වූ නමුත් වෙබ් අඩවිය හැක්කර තිබුණේ නැහැ” යනුවෙන් ඔහු පැවසීය.

දත්ත සුරක්‍ෂිතතාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් විසින් මතු කරන ලද ගැටලුවලට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග අවධාරණය කළේ යෙදවුමේ පද්ධතියට පෞද්ගලික දත්ත ඇතුළත් නොකරන බවයි.

“ගිණුමක් හරහා සම්බන්ධයක් පමණයි තියෙන්නේ. පොලිසියට කිසිදු අයහපත් චේතනාවක් නැහැ. නීතිය හා සාමය සහතික කිරීම සඳහා මහජන දායකත්වය ලබා ගැනීම පමණයි අදහස. හඳුනාගත් දුර්වලතා ඇත්නම් ඒවා ඉදිරියේදී විසඳා දෙනවා” යනුවෙන් ඔහු සහතික විය.

මනතුංග පැවසුවේ දත්ත ආරක්ෂණය සහතික කිරීම සඳහා යෙදවුම සංවර්ධනය කිරීමේදී ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගත් බවයි.

42.31%
17.27%
32.76%