May 30, 2024

කිසිදු ක්‍රීඩා සම්මේලනයක් සඳහා අතුරු කමිටු පත් නොකරන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අවධාරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ 2024.05.29 වන දින අංක 2386/08 දරන ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ක්‍රීඩා සංගම් හා සම්මේලන 04කට අදාළ නිලවරණය නිසි පරිදි පැවැත්වීම සදහා පමණක් බවයි.

ඇමැතිවරයාගේ හා රජයේ ප්‍රතිපත්තියක් වන කිසිදු ක්‍රීඩා සංගමයකට හෝ සම්මේලනයක් වෙත අතුරු පාලක කමිටු නොදැමිය යුතුය යන ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යා යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු විශේෂයෙන් අවධාරණය කර සිටින බව ද එහි සඳහන් වේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් 2024.05.29 වැනි දින අංක 2386/08 දරන ගැසට් පත්‍රයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා මොටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය යන ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනයන්හි ලියාපදිංචිය තාවකාලික අත්හිටවූ අතර ඒවාහි තාවකාලික කටයුතු සහ නීත්‍යනුකූල නිලවරණයන් පැවැත්වීම සදහා පමණක් 2024.05.29 දින සිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බලධාරියා වශයෙන් පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය සදහා නාම යෝජනා කැඳවන අවස්ථාවේ දී බල පැවැත්වූ රෙගුලාසි 2024 මැයි 03 වැනිදායින් අහෝසි වූ බැවින් නව රෙගුලාසි යටතේ නාම යෝජනා කැඳවා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සුදුසු බව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිල කාලය 2024 මැයි 31 වැනි දින අවසන් වන බවත්, අන්තර්ජාතික රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය සමග ඇතිකරගත් එකඟතාවක් මත ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්ථාවට සිදුකිරීමට නියමිත සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව එහි මහ සංගමය පැවැත්වීමට පහසුකම් සලසා දීම සදහා මෙම තීරණය ගන්නා ලද බවත් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය විසින් ඔවුන්ගේ නිලවරණය පැවැත්වීමට කල් දිගුවක් ඉල්ලා සිටි හෙයින් ඒ සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත නිලවරණය නිසියාකාරයෙන් හා නීත්‍යනුකූලව පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස පත් කර ඇතැයි ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා පාපැදි සංගමය විසින් නිලවරණ කමිටුව පත් කිරීම සදහා විශේෂ මහ සභා රැස්වීම කැඳවීමට අපොහොසත් වූ හෙයින් ඒ සම්බන්ධව පැවැත්වීමට නියමිත නිලවරණය නිසියාකාරයෙන් හා නීත්‍යනුකූලව පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස පත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.