January 3, 2025

ඉන්දීය ගුවන් හමුදාවට අයත් අධිවේගී ඩ්‍රෝන යානයක් ලෙස සැළකෙන නියමුවන් රහිත යානයක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ තිබී සොයාගැනීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී එම ඩ්‍රෝන යානය ශ්‍රී ලංකා ගුවන් සීමාව තුළ ක්‍රියාත්මක නොවූ බව අනාවරණය වී තිබේ.

2024 දෙසැම්බර් 27 වැනි දින ත්‍රිකුණාමලය වෙරළට නාවික සැතපුම් 35ක් පමණ ඔබ්බෙන් තිබියදී ධීවරයන් පිරිසක් විසින් ඩ්‍රෝන යානය ගොඩගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ත්‍රිපුද්ගල විශේෂ කමිටුවක් පත්කර ඒ සම්බන්ධයෙන් සොයාබලා තිබේ.

එම ඩ්‍රෝන යානය සාමාන්‍යයෙන් ආරක්ෂක හමුදා පුහුණු අභ්‍යාසවලදී භාවිත කරන ඉලක්කගත ඩ්‍රෝන යානයක් බව මීට පෙර අනාවරණය විය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පවසන්නේ විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව කමිටුව මූලික වාර්තාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා වෙත ඉදිරිපත් කළ බවයි.

පුපුරණ ද්‍රව්‍ය, කැමරා හෝ ජීපීඑස් අඩංගු නොවූ බැවින් ඩ්‍රෝන යානයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව කමිටුව වාර්තා කර තිබේ.

කමිටුවට අනුව, ඩ්‍රෝන යානය ශ්‍රී ලංකා මුහුදු සීමාවට පාවී ගොස් සති දෙකක්වත් වන්නට ඇත.

“අපි විශ්වාස කරනවා ඩ්‍රෝන් යානය ක්‍රියාත්මක වුණේ අපේ ගුවන් ආරක්ෂක කලාපය තුළ නෙවෙයි කියලා. ඕනෑම රටක් අපේ ගුවන් ආරක්ෂක කලාපය භාවිත කරනවා නම් ඔවුන් සාමාන්‍යයෙන් අපට දන්වනවා. අපේ ගුවන් සීමාවේ ක්‍රියාත්මක වූ මෙවැනි ඩ්‍රෝන යානයක් හඳුනාගෙන නැහැ. ඒ නිසා අපි හිතනවා පුහුණුවීම් අපේ කලාපයෙන් බොහෝ ඈතක වෙන්න ඇති කියලා,” යනුවෙන් ගෲප් කපිතාන් ගීගනගේ පැවසීය.

ඩ්‍රෝන යානයේ නිජබිම තහවුරු කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම ඩ්‍රෝන යානයේ අයිතිය කියා පෑමට කිසිදු රටක් හෝ සමාගමක් ඉදිරිපත් නොවන්නේ මන්ද යන්න ප්‍රශ්නකි.

ඩ්‍රෝන යානයේ පියාපත් මත Shikra සහ Target යන වචන දැකිය හැකි අතර පසුපසින් Anadrone යන්න දිස්වේ.

Anadrone Systems Pvt Ltd යනු ඉන්දියාව පදනම් කරගත් ආරක්ෂක සමාගමකි.

මිනිසුන් රහිත උසස් ගුවන් පද්ධති සහ ආරක්ෂක තාක්ෂණයන් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ යෙදවීම පිළිබඳ ඔවුන් විශේෂඥතා ඇති සමාගමකි.

ඩ්‍රෝන යානය ඉන්දියාවට අයත් බවට තහවුරු වුවහොත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එය ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන බවද එම ප්‍රකාශකයා පැවසීය.

 

42.31%
17.27%
32.76%