October 8, 2024

තමා කිසිවකුට විශේෂ සැළකීම් නොකරන බවත් අපක්ෂපාතීව කටයුතු කරමින් රට සහ ක්‍රීඩකයන් වෙනුවෙන් හැකි හොඳම කණ්ඩායම ක්‍රීඩා කරවීමට යොමු කිරීම තම අභිප්‍රාය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ඊයේ (7) පැවති සිය මංගල මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේය.

‘මාස්ටර් බ්ලාස්ටර්’ ලෙස නම් දැරූ, කලක් ලොව වඩාත්ම බියකරු පිතිකරුවා වූ ජයසූරිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් සිටින්නේ ධනාත්මක් චින්තනයකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (7) නිවේදනය කළේ ජයසූරිය මෑත කාලීන සංචාර සහ ක්‍රීඩා තරගවලදී අන්තර්කාලීන පුහුණුකරු ලෙස සාර්ථක ලෙස කටයුතු කිරීමෙන් පසුව 2026 මාර්තු 31 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ බවයි.

මෙම ක්‍රීඩකයන් දක්ෂ මෙන්ම වෙහෙස මහන්සි වී වැඩ කරන බවත් එම ක්‍රීඩකයන් එකිනෙකා අතර විශ්වාසය සහ නිර්භීතභාවය ගොඩනැගීම ඉතා වැදගත් බවත් ජයසූරිය අවධාරණය කළේය.

“අපි හොඳක් කළත් වැරදි දෙයක් කළත් ඔවුන්ට මා ළඟට පැමිණ ඕනෑම දෙයක් සාකච්ඡා කළ හැකියි. මම නිතරම කියනවා වගේ, ඔවුන් ඒ පුරුද්ද විශ්වාස කළ යුතුයි. මට ඕනේ පුහුණු සැසි රසවත්ව කරන්න. ඒ නිසා ඒ වෙනුවෙන් අපි හොඳ වාතාවරණයක් හදන්න වෙනස්කම් කිහිපයක් කළා. මූලික කාරණා ඉතා වැදගත්, ඒ නිසා ක්‍රීඩකයන් විනෝද වෙන ගමන් ක්‍රීඩාවටත් අවධානය යොමු කරනවා,”නව ප්‍රධාන පුහුණුකරු පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ ජනප්‍රිය ක්‍රීඩකයන් කළ අයුරින් දක්ෂතා ඇති පාසල් ක්‍රීඩකයන් ජාතික තලයට එක්කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මතු වූ පැනයකට ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා සම්භාවිතාවක් පවතින බවයි.

“ඒත් ඒ සඳහා අපි තවදුරටත් වැඩ කළ යුතුයි. පසුගිය කනිෂ්ඨ ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කළ සමහර ක්‍රීඩකයන් ද සමඟ දැන් 23න් පහළ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරනවා. මේ මොහොතේ අනාගතයේ කණ්ඩායමට ගන්න පුළුවන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. අපි ඔවුන්ට ජාතික කණ්ඩායම, සමාජ මට්ටමින් සහ නැගී එන කණ්ඩායම් සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව දෙනවා. අපි අවධානය යොමු කරන්නේ නැගී එන ක්‍රමයටයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් හිටියත් ඔවුන්ව කෙලින්ම ගැඹුරුම තැනට ගෙනත් දාන්න අපට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි මේ සියලු ක්‍රීඩකයන් සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නේ. ඔවුන් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමට අවස්ථාවක් ලැබුණු සෑම අවස්ථාවකම ඔවුන්ව ඇතුළත් කිරීමට අපි පසුබට වෙන්නේ නැහැ.” යැයි ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ සනත්ගේ පුහුණු ගිවිසුමේ සැඟවුණු න්‍යාය පත්‍ර නොමැති බවත් විදේශීය පුහුණුකරුවන් හා සසඳන විට වැටුප් අතින් සනත් දේශීය පුහුණුකරුවකු වීම සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නොමැති බවත්ය.

“සනත් මුදල් පසුපස දුවන අයෙක් නෙවෙයි, ඔහු කිසිවිටෙකත් මුදල් පසුපස හඹා යන්නේ නැහැ. කිසිම වෙනසක් නැහැ. මූලික වශයෙන් විදේශීය පුහුණුකරුවකුට පිරිනැමූ ආකාරයේම පැකේජයක් ඔහුටත් ලබාදී තිබෙනවා. ඒක වැඩිද අඩුද කියලා කියන්න බෑ. එය හෙළි කිරීමට අවශ්‍ය නැති ඉතා රහසිගත දෙයක්. අපි පුහුණුකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කරන විට, එම මුදල මාධ්‍යයට හෙළි නොකිරීමට අපි සහතික වෙනවා. එය ප්‍රසිද්ධියට පත් කිරීමට අපට අවශ්‍ය නැහැ. එහි වටිනාකම අපි විදේශීය පුහුණුකරුවකුට ලබා දීමට බලාපොරොත්තු වූ දෙයට සමීපයි” ද සිල්වා පැවසීය.

පුහුණුකරු ජයසූරිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්නට එරෙහිව තරගවදින කාලසටහන මෙසේයි

1 වැනි T 20 තරගය – ඔක්තෝබර් 13 – දඹුල්ල
2 වැනි T 20 තරගය – ඔක්තෝබර් 15 – දඹුල්ල
3 වැනි T 20 තරගය – ඔක්තෝබර් 17 – දඹුල්ල

1 වැනි එක්දින තරගය – ඔක්තෝබර් 20 – පල්ලෙකැලේ
2 වැනි එක්දින තරගය – ඔක්තෝබර් 23 – පල්ලෙකැලේ
3 වැනි එක්දින තරගය – ඔක්තෝබර් 26 – පල්ලෙකැලේ

42.31%
17.27%
32.76%