June 12, 2024

ජාතික මධ්‍යසාර හා දුම්කොළ අධිකාරී පනත යටතේ ඇති රෙගුලාසි සංචාරක අංශයට ඍණාත්මක ලෙස බලපාන බවට එල්ල වන චෝදනා ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි.

මධ්‍යසාර ආශ්‍රිත නීති මගින් රටේ සංචාරක ව්‍යාපාරයට සිදුවන බලපෑම පිළිබඳ සංචාරක ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව විසින් කණස්සල්ල පළ කර තිබිණි.

ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති සහ ජාතික මධ්‍යසාර හා දුම්කොළ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශාක්‍ය නානායක්කාර පවසන්නේ ‘Happy hour’ සංකල්පය ඇතුළු මත්පැන් ප්‍රවර්ධන තහනම් කිරීම දිගු කලක් තිස්සේ පැවති අතර එය සංචාරකයන් මෙරටට පැමිණීමට බාධාවක් නොවන බවයි.

ශ්‍රී ලංකාවේ පමණක් නොව බොහෝ රටවල මෙවැනි ක්‍රියාවන් වරදක් ලෙස සළකන බවද ඔහු අවධාරණය කළේය.

“පවතින නීති යටතේ ඕනෑම ආකාරයක මත්පැන් ප්‍රවර්ධනය කිරීම තහනම්. ජාතික මධ්‍යසාර හා දුම්කොළ අධිකාරී පනත මගින් ‘Happy hour’ සංකල්පය තහනම්, එය අලුත් පියවරක් නෙවෙයි-වසර ගණනාවක් තිස්සේ පැවතුණු එකක්,”යැයි නානායක්කාර ප්‍රකාශ කර තිබේ.

චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මූලික වශයෙන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා නොවන බවයි.

සංචාරකයන් රටවල්වලට යන්නේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කිරීමට නොව සංචාරක ආකර්ෂණ ස්ථාන නැරඹීමට සහ වෙනත් විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරත වීමට බව ද ඔහු පෙන්වා දී තිබේ.

ඒ අනුව ඔහු පවසන්නේ මෙම රෙගුලාසි සංචාරකයින් අධෛර්යමත් කරන බවට හෝ සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපාන බවට යෝජනා කරන ප්‍රකාශ පදනම් විරහිත බවයි.

මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් ආමන්ත්‍රණය කිරීමේදී ශ්‍රී ලංකාවේ නීති නිසි ලෙස බලාත්මක කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරන අතරම, එම නීතිමය රාමුවේ ශක්තිය ද ඔහු අවධාරණය කර ඇත.

දැනට ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් හේතුවෙන් වීදිවල මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයේ සැළකිව යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව පෙන්වාදෙන සභාපති නානායක්කාර මෙම රෙගුලාසිවලින් ලැබෙන යහපත් ප්‍රතිඵල ද පෙන්වා දී ඇත.