June 18, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට 2023 වසරේ සැප්තැම්බර් මස අනුරාධපුරයේදී වෙඩි තැබීමේ සිද්ධිය ප්‍රේමරත්න විසින්ම සැලසුම් කළ බවට වාර්තා වන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශන හමුවේ හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තවමත් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ විමර්ශනයේ ප්‍රගතිය අනුව ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගනිමින් සිටියද අදාළ කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තවමත් කල් වැඩි බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ අධීක්‍ෂණය යටතේ පවතින බවත් ඒ අනුව කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.

ප්‍රේමරත්නගේ නිවස අසල නවතා තිබූ ඔහුගේ පෞද්ගලික වාහනයට නාඳුනන පිරිසක් වෙඩි තබා ඇති බවට වාර්තා වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය.

2023 සැප්තැම්බර් 17 වැනි දින ප්‍රේමරත්න සිය වාහනය නවතා සිය නිවස දෙසට යමින් සිටියදී මෙම සිදුවීම සිදු වී තිබිණි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ දැනුම්දීමකින් හෝ පොලිස් බලධාරීන්ගෙන් අවශ්‍ය අවසර ලබා ගැනීමකින් තොරව දැනට රටින් පිටව ගොස් ඇති සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සහය ඇතිව වෙඩි තැබීමේ සිද්ධියට ප්‍රේමරත්න සම්බන්ධ බවට විමර්ශනයේදී අනාවරණ වූ බවයි.

අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා මේ වනවිට සිය පවුල සමඟ විදේශගතව පදිංචිව සිටින බවද තල්දූව අනාවරණ කළේය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ මධ්‍යයේ සහකාර පොලිස් අධිකාරීවරයා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බව වාර්තා වේ.

තවද, සහකාර පොලිස් අධිකාරීවරයා ජුනි 12 වැනි දින කටුනායක ගුවන් තොටුපළෙන් මැලේසියාව බලා පිටත්ව යෑමට පෙර තෙවැනි පාර්ශ්වයක් මාර්ගයෙන් සිය නිල අවිය පොලිස් ස්ථානයට යවා ඇති බව පැවසේ.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ප්‍රේමරත්න මේ වසරේ (2024) පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයා ලෙස කටයුතු කර ඇත.

ඉල්ලා අස්වීමෙන් ටික කලකට පසු ප්‍රේමරත්න ශ්‍රී ලංකාව හැර ගිය බව වාර්තා විය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර සහකාර පොලිස් අධිකාරිවරයාගේ සම්බන්ධය පිළිබඳ සැළකිව යුතු අවධානයක් යොමු වී ඇති අතර නිසි අවසරයක් නොමැතිව සහකාර පොලිස් අධිකාරිවරයා රට හැර යෑමට සමත් වූයේ කුමන තත්ත්වයන් යටතේද යන්න පිළිබඳවද බලධාරීන් සොයා බලමින් සිටී.

42.31%
17.27%
32.76%