August 27, 2024

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය පසුගියදා භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමුකරමින් ඔහු සිය තීරණය දැනුම්දී තිබේ.

වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සෙසු පිරිස් දක්වන අකමැත්ත තමාගේ මෙම තීරණය ගැනීමට හේතුවූ බව නිරෝෂන් ප්‍රේමරත්න මහතා පෙන්වාදෙයි.

පසුගිය ජූලි මාසයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත්කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා ලෙස ඔහුව ජූලි 16 වැනිදා ප්‍රකාශයට පත්කළේය.

නිරෝෂන් ප්‍රේමරත්න 2015 දී දේශපාලනයට පිවිසෙන විට රජය සතු ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) ජනප්‍රිය රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු සහ නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) සාමාජිකයකු වන ඔහු 2015 දී මාතර දිස්ත්‍රික්කයෙන් තේරීපත් විය.

2022 දී නිරෝෂන් ප්‍රේමරත්න ITN හි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.