42.31%
17.27%
32.76%
September 21, 2023

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පදනම් කරගනිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ සේවය අත්හිටුවන ලෙසට කරන ලද ඉල්ලීම් හමුවේ පොලිසිය සඳහන් කර ඇත්තේ, සාමාන්‍යයෙන් එවැනි සේවය අත්හිටුවීමක් සිදු නොකරන බවත්, මූලික අයිතිවාසිකම් (FR) නඩුවලට අදාළව වන්දි ගෙවීමට නියම වූ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්ම මේ වනවිට ද සේවයේ නියුතුව සිටින බවත්ය.

2019 දී රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂවරයා වූ ජයවර්ධන සහ තවත් කිහිපදෙනෙක් ත්‍රස්තවාදී ප්‍රහාර වැලැක්වීමට නොදී මූලික මානව හිමිකම් කඩකර ඇතැයි, පාර්ශව කිහිපයක් විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සම්බන්ධයෙන් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව, ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳ විමර්ශනය සිදුකළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ද ඔහුට එරෙහිව සුදුසු නීතිමය ප‍්‍රතිපාදන යටතේ අපරාධ නඩු පවරන ලෙස නීතිපතිවරයාට නිර්දේශ කර තිබූ බැවින්, මේ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු අවසන් වන තුරු ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් මෙන්ම ප්‍රධාන වශයෙන් කතෝලික සභාව නියෝජනය කරන පාර්ශ්ව කිහිපයක් රජයට බලකර ඇත.

මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියෝග කර ඇති පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය දැයි ජනමාධ්‍යය විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතීඥ නිහාල් තල්දූවගෙන් විමසූ විට ඔහු සඳහන් කර ඇත්තේ, එවැනි අවශ්‍යතාවක් නොමැති බවයි.

එම නඩුවලට වන්දි ගෙවීමට නියෝග ලැබුණු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මේ වනවිටත් සිටින බවත්, ඔවුන්ගේ වැඩ තහනම් කර නොමැති අතර, මූලික අයිතිවාසිකම් නඩුවකදී වරදකරු වීම අපරාධ වරදක් ලෙස නොසළකන බවත්, ඔහු පවසයි.

කෙසේ වෙතත්, මූලික අයිතිවාසිකම් නඩුවක වරදකරු වීම පොලිස් නිලධාරියෙක්ගේ උසස්වීම්වලට බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(Morning)

42.31%
17.27%
32.76%